ත්‍රිකුණාමලයේ කාන්තාව ඇඳ සිටියේ කලම්කාරි සාරියක්

0
32

කලම්කාරි සාරි කියන්නෙ අතින් සකසනු ලබන කපු සාරි විශේෂයක්. ඒවා වර්ණගන්වන්නේ ද ස්වාභාවික ද්‍රව්‍යවලින්. මේ වන විට එය දකුණු ඉන්දියාවේ අතිශය ජනප්‍රිය සාරි මෝස්තරයක්.

කලම්කාරි සාරි ප්‍රධාන වශයෙන් ම නිෂ්පාදනය කරනු ලබන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ තෙලන්ගානාහියි. එය එහි සම්ප්‍රදායික හස්ත කර්මාන්තයක්.

කලම්කාරි සාරි ශෛලීන් කීපයක් තියෙනවා. එක් වර්ගයකදී මෝස්තරය පෑනකින් අතිනුයි අඳින්නේ. බ්ලොක් මගින් මුද්‍රණය කිරීමත් සිදුවෙනවා. කලම් කියන්නේ ඒවා ඇඳීමට ගන්නා පෑනටයි. කාරි යනු ශිල්පියායි.

මේ මෝස්තර හින්දු දේවකතා සමග සම්බන්ධයි. වෛශ්නව හින්දු දහමේ විශ්වාසය අනුව ගෞතම බුද්ධ යනු විෂ්ණුගේ දස අවතාර අතරින් නවවැන්නයි. එබැවින් හින්දු සංස්කෘතිය තුළ බුදුන්ට හිමි ස්ථානය බෞද්ධයන් බුදුන්ට ලබාදෙන ස්ථානයට වඩා වෙනස්. අවසානයේ බුදුන් යනු භාරතයේ බිහි වූ, ලෝක ශාස්තෘවරයකු මිස කාගේවත් දේපලක් නොවෙයි. බුදුන් විවිධාකාරයෙන් අර්ථ නිරූපණය කරගැනීමට හින්දු හෝ බෞද්ධ ආගම් ඉතිහාසය පුරා ම විරෝධය පළ කර නැහැ.

මෑතදී ජනප්‍රිය වුණ බුද්ධ මුහුණ ද පැමිණෙන්නේ මේ පසුබිමින්. එහෙත්, මේ සාරි දැන් වානිජමය වශයෙන් කරනු ලබන මුද්‍රණයි.

ත්‍රිකුණාමලයේදී මෙවැනි කලම්කාරි සාරියක් ඇඳ සිටි කාන්තාවක් බෞද්ධ භික්ෂුවක් විසින් ප්‍රසිද්ධියේ හිංසනයට ලක් කරනවා. එපමණක් නොව, පොලිසියත් ඇය අත්අඩංගුවට ගෙන පොලිසියේදී බලපෑම් කර ඇය ලවා එම සාරිය ඉවත් කරවාගෙන වෙනත් සාරියක් අන්දවනවා. ඉහත කී බෞද්ධ යයි කියන ප්‍රචණ්ඩ භික්ෂුව ඇය ගැහැණියක නොවූවා නම් උස්සා පොළවේ ගසන බවක් ද කියනවා.

බුදු දහමට අපහාස කළේ දීර්ඝ ඉතිහාසයක් හිමි කලම්කාරි සම්ප්‍රදායේ සාරියක් පැළඳ එම කාන්තාව ද? නැතිනම් මේ මුග්ධ, ප්‍රචණ්ඩ භික්ෂුව ද?

– ඊශා කප්පරගේ
( praja.lk )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here