මහරගම පොහොට්ටු තොරණට යට වුණු සුලාරිගේ කඳුළු කතාව

0
27

මැතිවරණ සමය එළැඹීමත් සමඟින් මහාමාර්ග ඇතුළු බොහෝ පොදු ස්ථානවල දේශපාලනඥයන්ගේ පෝස්ටර්, කටවුට්, බැනර් සුලබ දසුනක් බව ඉතිහාසය හොඳින්ම සාක්ෂි සපයයි. පෝස්ටර්, කටවුට්, බැනර්වලින් තොර මැතිවරණ ප්‍රචාරණයක් ගැන මොනතරම් පාරම් බෑවත් එය ගඟට කපන ඉනි මෙනි. ඉදිරි මැතිවරණ සමය එළැඹීමටත් පෙර විශාල දැන්වීම් පුවරුවක් නිසා අකරතැබ්බයක් වූයේ පසුගිය 08 වැනිදා මහරගම නගරයේදීය.

මහරගම නගරයේ ප්‍රධාන මාර්ගය හරහා ඉදිකර තිබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශාල පුවරුවක් මාර්ගය හරහා කඩා වැටීමෙන් මහමඟ ගමන්ගත් දෙදෙනෙකුට තුවාල සිදුවිණි. එසේම සුඛෝපභෝගි මෝටර් රථයකටද හානි සිදුවුණු අතර තවත් අයෙකුටද තුවාල සිදුවූ බවට සැලවූවත් එය නිල වශයෙන් තහවුරු නොවේ.

මහරගමදී පසුගිය දහවැනිදා පැවැත්වුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උත්සවයකට එහි නායක මහින්ද රජපක්ෂ මහතාගේ සහභාගිත්වය වෙනුවෙන් ඊට සුබපැතුම් එක්කරමින් ඔහුගේ රුව සහිත මහරගම පොදුජන පෙරමුණේ උපාලි කොඩිකාර සහ කාන්ති කොඩිකාර දෙපළගේ රුවද යොදා එම විශාල පුවරුව ඉදිකර තිබිණි.

මෙය සාමාන්‍ය සිදුවීමක් ලෙස හුවා දක්වමින් සමාජයේද එතරම් කතාබහට ලක් නොවූවත් තුවාල වූ තරුණියකගේ තත්වය බැරැරුම්ය. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සයනයක වැතිරි සිටින ඇය දුටු විටනම් එම ඛේදනීය සිදුවීම කෙතරම් බරපතළ ද යන්න එහි ගිය විට දැන ගත හැක. දැන්වීම් පුවරුව සිරුර මතට වැටීමෙන් කොන්දට වූ හානිය නිසා ඇගේ කොන්දෙන් පහළ කොටස අප්‍රාණිකව ඇති බව වෛද්‍යවරුන් පවසති. මේ නිසා ඇයට ඇවිදීමට නොහැකිය.

මෙම අනතුරින් තුවාල ලැබූ ඇය ගාල්ලෙ, රජ්ගම පදිංචි 27 හැවිරිදි සුලාරි ලක්නිමාය. එම අනතුරින් තුවාල ලැබූ ඇගේ පෙම්වතා වූ සුජීව හර්ෂන් එදින සිදුවූයේ කුමක් ද යන්න පැවැසීය.

“මම එදා ගම්පහ ඉඳලා මහරගමට ආවා. සුලාරි ගාල්ලෙ ඉඳලා මහරගමට ආවා. එයා රට යන්න හිටියේ මහරගම ඒජන්සියකින්. ඒකට මෙඩිකල් කරන්නත් තිබුණේ එදාමයි. ඒ වගේම ඇඳුම් වගයක් ගන්නත් එක්කමයි දෙන්නම මහරගමට ආවේ. අපි දෙන්නා උදේ නවය වෙනකොට මහරගමදි මුණගැහුණා. කඩේකින් කෑම කාලා ඉන්පස්සේ ඒජන්සියට ගියා. ලියකියවිලි ටික අරන් මෙඩිකල් කරන්න යන්න. ඒ වැඩෙත් ඉවර කර‍ගෙන සපත්තු කඩ දෙකකට ගියා සපත්තු ගන්න. ඊට පස්සෙ පමුණුව පැත්තට යන්නයි ගියේ. වෙලාව දහයයි තිහත් එකොළහත් අතර. ඔය පුවරුව ගහලා තිබුණ හරියෙන් පාර මාරු වුණා විතරයි. ඒක කඩාගෙන වැටුණා. අපි දෙන්නත් යටවුණා. කාර් එකකටත් හානිවෙලා තියෙනවා දැක්කා. මට හිතා ගන්න බැරි වුණා මොකද වුණේ කියලා. මටත් තුවාල වුණා. කවුරුවත් සුලාරිව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ. පාරේ යන ත්‍රීවිල් එකක් නතර කරලා මම සුලාරිව කළුබෝවිලට රෝහල අරගෙන ගියා. ඇගේ තත්වය බරපතළ නිසා ජාතික රෝහලට මාරුකළා. අහිංසක ඇයට වුණ දේ මට ඉවස ගන්න බැහැ. මං මේ මොහොතේ ඉල්ලන්නේ සුලාරිට දෙපයින් නැගි සිටින්න ලෝකෙ කොහේ හෝ රටකට ගෙනිහින් ඇය සුව කරගන්න උදව් කරන්න කියලා. දන්න දන්න අය කියනවා නඩු කියන්න කියලා . අපිට නඩු කියන්න සල්ලි නැහැ. දැන්වීම් පුවරුව කඩා වැටුණ එක සාමාන්‍ය දෙයක් කියලා කවුරුත් හිතන්නේ. ඒත් සුලාරිට වෙලා තියෙන දේ කවුරුවත් දන්නේ නැහැ.

මට අන්තිමට කියන්න තියෙන්නෙ මෙච්චරයි. අපිට පක්ෂ, විපක්ෂ අදාළ නෑ. සාධාරණය ඉටුකරන්න.”

ඔහු පවසන්නේ තම පෙම්වතිය වෙනුවෙන් ඇස නැගි කඳුළක් පිස දමමිනි.

මහරගම නගරයේ තොරණ ඉදිකිරීමේ ප්‍රධානියා වන උපාලි කොඩිකාර මහතාගෙන් මේ ගැන විමසීමක් කළෙමු.

“මහරගම තිබුණ අපේ පක්ෂයේ උත්සවයකට මගේ හිතවතුන් පිරිසක් ඒ තොරණ ගැහැව්වේ. සෙනසුරාදා රෑ ගැහැව්වේ. මං හිතන්නෙ සුළඟට වැටෙන්න ඇත්තෙ. එහෙම නැත්නම් කවුරුහරි කඩාකප්පල්කාරින් පිරිසක් මොකක්හරි හප්පලා කඩලා දාන්න ඇති. මේක සාමාන්‍ය සිදුවීමක්. මීට පෙර ගම්උදාවේදි, දැයට කිරුළ වැනි දේවලදීත් මෙවැනි දේ වෙලා තියෙනවා. මේ සිද්ධියෙන් පාරේ ගිය ගෑනු ළමයෙක් යටවෙලා කොන්ද තුවාල වෙලා…. ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒ ළමයට අපෙන් කෙරෙන්න තියෙන සෑම දෙයක්ම කරනවා”

සුලාරිට අත්වූ ඉරණම නිසා තම පවුලද කබලෙන් ළිපට වැටි ඇතැයි රෝහල් වාට්ටුවේ සිටින ඇය බලාගන්නා සුලාරිගේ මව වන නිල්මිණි සමන්තිකා කතා කරන්නට වුයේ හැඬු කඳුළෙනි.

“මට දියණියන් දෙන්නෙක් ඉන්නවා. දොස්තර මහත්තුරු නම් කියන්නෙ මෙයාට සදහටම ඇවිදගන්න බැරිවෙයි කියලා. එහෙම වුණොත්නම් මට ඉඳලා වැඩක් නෑ. මේ දෙන්නගෙ තාත්තත් නැ. මම රටවල්වලට ගිහින් දහදුක් විඳලා දුවලා දෙන්නව ලොකු මහත් කළේ. ලොකු දුව ආබාධිතයෙක් වුණොත් මම ජීවත් වෙලා මොකටද?. දුව කිසි දෙයක් කන්නෙ බොන්නෙත් නෑ. එයා රට යන්න හිටියේ.

එයාට ඕන වුනේ රට ගිහින් ගෙයක් හදා ගන්න.. අන්තිමට මොකක්ද මේ අපට පාත්වුණ හෙණගෙඩිය. උපාලි කොඩිකාර මහත්මයයි එයාගේ නෝනයි ඇවිත් දරුවා බලලා ගියා. මගෙන් ඇහැව්වා මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා. මං කිව්වා මට සල්ලි එපා. මගේ දරුවා හිටිය තත්ත්වයට පත්කරලා දෙන්න කීවා. ඒ ඇරෙන්න වෙන කවුරුවත් නම් මගේ දරුවට වුණේ මොකක්ද කියලා බලන්න ආවේ නැහැ.”

අප සුලාරිව බැලීමට ජාතික රෝහලට ගිය දින ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව සිටියාය. ඒ අනුව ඇයගේ තත්ත්වය කෙබඳුද යන්න එම ශල්‍යකර්මයෙන් පසු යමක් පැවැසිය හැකි බව රෝහල් ප්‍රකාශකයෙක් කීවේය.

ඕනෑම ප්‍රචාරණ පුවරුවක්, බැනරයක් පොදු ස්ථානයක ප්‍රදර්ශනය කරනවානම් ඊට අවසර ගත යුතුමය. මේ විශාල දේශපාලන දැන්වීම් පුවරුව ප්‍රදර්ශනයට මහරගම නගර සභාවෙන් අවසරයක්ද ගෙන නැති බව එහි නගරාධිපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතා සිළුමිණට කීය.

“දැන්වීම් පුවරුව ඉදිකිරීම සඳහා අපෙන් කිසිම අවසරයක් ගත්තෙ නැහැ. සාමාන්‍යයෙන් මාර්ගයක ඕනෑම ප්‍රචාරණ දැන්වීමක් පළ කරනවා නම් ආර්. ඩී. ඒ එකෙන්, නගර සභාවෙන් අවසර ගතයුතුයි. නමුත් එහෙම කිසිම දෙයක් සිදු වුණේ නැහැ. මේ ගැන මගෙන් මහරගම පොලිසිය ප්‍රකාශයක් ලබාගත්තා.”

නගරාධිපති තුමා පවසන්නේ එසේය.

අවටින් කළ සොයා බැලිම්වලදි අසන්නට ලැබුණේ මෙවැනි කතාය.

“අපිත් දැක්කා ඕක හදනවා. ඒ මිනිස්සු හොඳටම බීලා හිටියේ. පොළොවට මුකුත් සවි කරන්නේ නැති ව තමයි ඕක ඔතැන සවි කළේ. ඒ අය ඔය වැඩේ කිසිම වගකීමකින් කළේ නැහැ.”

පුවරුව සවි කරනු දුටුවෙකු පැවැසුවේ එවැනි කතාවකි.

දැන් සියල්ල සිදු වී හමාරය. සිදු වූ වැරැද්ද යළී නිවැරදි කිරීමට බැරිය. නමුදු අසරණ සුලාරිට දෙපයින් නැගී සිටීමට හැකියාව ලැබෙන්නේ නම් එය වාසනාවකි. පිට රටක හෝ ගොස් සුවවීමට ඇයට හැකියාවක් ආර්ථික ශක්තියක් නැත. මෙයට වගකිව යුත්තන්ගේ යුතුකම මේ අවස්ථාවේ ඇයට පිහිට වීමය.


අමිල මලවිසූරිය
සිළුමිණ පුවත්පත ඇසුරින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here