Google එකේ ජොබ් එකක් කරන්න කැමතිද?

0
28

වර්තමාන කාර්යබහුල ලෝකයේ මිනිස්සුන්ගේ ජීවිතයේ වැඩිම කාලවේලාවක් ගෙවෙන තැන තමයි තමන්ගේ රැකියා ස්ථානය කියන්නේ. හුඟක් වෙලාවට හුඟක් අයට තමන් වැඩ කරන තැන සොඳුරු විනෝදජනක තැනක් වගේම වධකාගාරයක් වෙන්නත් පුළුවන්.

ලෝකයට තාක්ෂණය එන වේගෙන්ම ඒ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන රටවල් එක්ක බැලුවහම අපේ වගේ රටක් ඉන්නේ හුඟක් පිටිපස්සෙන්. ඒකට හේතුව තමයි තාක්ෂණය කියන එක අනුකරණයට මිසක් භාවිතයට අපේ මිනිස්සු තුල තියෙන අකමැත්ත වගේම අවබෝධයක් නැතිකම. රට පුරා ලොව පුරා දෑසින් සංචාරය කර අපේ ජීවිත වලට විශාල දැනුම් සම්භාරයක් එකතු කරගන්න දැන් අපිට ඕනෑතරම් අවකාශයන් විවර වෙලා තියෙනවා. ඒ විශිෂ්ට පහසුකම අපට ලබාදෙන එක ආයතනයක් තමයි ලෝ සුපතළ ගූගල් (Google) සමාගම. අපි දැන් කතා කරන්නේ සාම්ප්‍රදායික මේස පුටු වලින් වෙනස් වුනු Google office culture එක ගැන වගේම ඒ culture එකේ වැඩ කරන මිනිස්සු ගැන.

Google කියන්නේ අන්තර්ජාලයේ විවිධ සේවා සපයන ආයතනයක් වගේම ඔවුන්ගේ සුප්‍රසිද්ධ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයයි (Search engine). ඒවගේම Google කියන්නේ තාක්ෂණය සහ දැනුම මෙන්ම එදිනෙදා ජීවිතය සරල කරන තැන් සොයා යන ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය භාවිතයක්. අන්තර්ජාලය පරිහරණය කරන්නන්ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරමින්, නැවුම් දේ හඳුන්වාදෙමින්, දැනුමෙන් මිනිසා පිරිපුන් කරමින් ඔවුන්ගේ ජීවිත සුඛෝපභෝගී කරන්නට ගූගල් ආයතනයෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. මෙවැනි සමාගම් අද ව්‍යාපාරික ලෝකයටම ආදර්ශයක්.

අපි කවුරුත් හොඳින් දන්න Google හි නිර්මාතෘවරුන් තමයි 1996 වසරේ ඇමරිකාවේ සැටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වූ Larry Page iy Sergey Brin. විශ්වවිද්‍යාල පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙසට ආරම්භ කළ මෙය 1997 වසරේද ලියාපදිංචි කිරීමෙන් පසුව 1998 වසරේදී කැලිෆෝනියාවේ මිතුරෙකුගේ නිවසේ ගරාජයක Google ආයතනයේ පළමු කාර්යාලය පිහිටුවනු ලැබුවා. එදා ගරාජයෙහි පිහිට වූ එම කාර්යාලය අද ලොව මවිත කරන ප්‍රමුඛ පෙලේ කාර්යමණ්ඩලයකින් සහ නිර්මාණාත්මක කාර්යාල පසුබිමක් සමන්විත විශිෂ්ට සමාගමක් බවට පත්වනු ඇතැයි එදා ඔවුන් කිසිවිටකත් නොසිතන්නට ඇති.

ඔවුන් පළමුව තම ආයතනයට / සෙවුම් යන්ත්‍රයට නම තැබීමේදී, සෙවුම් විශාල සංඛ්‍යාවක් කිරීමට හැකිය යන අර්ථය දෙන ගූගල් (Googol) නම තැබීමට තීරණය කර තිබුනත් Googol යන වචනය ලිවීමේදී සිදු වුනු අක්ෂර වින්‍යාසයේ වැරැද්දක් නිසා එය ලියා තියෙන්නේ Google ලෙසය. එදා අකුරක් වැරදුනත් ලෝකයටම ආදර්ශයක් වන ඔවුන්ට අද වැරදී නැති බව හොඳින් පෙනෙනවා.

Google සමාගමේ ප්‍රධාන කාර්යාලය වන, Googleplex , ඇමරිකාවේ Mountain View, California හි පිහිටා ඇති අතර ලෝකය පුරා රටවල් 40 කට වැඩි ප්‍රමාණයක Google කාර්යාල 70 කට වැඩි ප්‍රමාණයක් ආරම්භ කර තිබෙනවා. අද ලොව පුරා ඇති Google ආයතන වල 40,000 කට වැඩි සේවක පිරිසක් සේවය කරනවා.

ව්‍යාපාරික සමාගමක් හෝ ආයතනයක් වශයෙන් Google ආයතනය කියන්නේ සාම්ප්‍රදායික ආයතනයක් හෝ සමාගමක් නෙවෙයි. වැටුපක් ලබන්න වැඩ කරන අරමුණකින් තොරව රැකියාවෙහි නිරත වන්නන්ට රැකියාවට සුදුසු නිදහස් පරිසරයක් සහ වටපිටාවක් සලසා දෙන නිර්මාණශීලී ආයතනයක් තමයි Google කියන්නේ.

බොහෝ දෙනෙකුට රැකියාවක් කිරීමේ එකම බලාපොරොත්තුව වැටුපක් ලැබීමයි. එවැනි අය තමන්ගේ රැකියාවෙහි තියෙන සුන්දරත්වය අත්විඳින්නේ නැහැ. සේවකයින් පීඩනයට ලක් කරන දැඩි නීති රීති යටතේ සේවයට නුසුදුසු පරිසරයකින් වෙනස්ව ව්‍යාපාරික ලෝකය ජයගත් විශිෂ්ට සමාගම් ලෝකයේ නැතුවාම නොවේ. එවැනි සමාගම් අතර ප්‍රමුඛයෙක් තමයි ගූගල් (Google) සමාගම කියන්නේ.

Google සමාගම විශාල ධනයක්, කාලයක් සහ ශ්‍රමයක් වැය කරමින් මෙවැනි නිර්මාණශීලී සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණ වන්නේ නිර්මාණශීලී යමක් සිදු කිරීමට නිදහස් අවකාශයක් සෑම සේවකයෙකුටම ලබා දීම සඳහායි.

Google කාර්යාලයේ කිසිවකුටත් කෑම බීම වලින් මීටර 100 කට වඩා දුරින් ඉන්න බෑ. ඒ කියන්නේ කාර්යාලයේ සේවකයින් පෝෂණය කරන මුලුතැන් ගෙවල් හැම තැනම තියෙනවා. සේවා ස්ථානයට කායික සහ මානසික ශ්‍රමයෙන් කැපවෙන සේවකයින්ව නිරන්තරයෙන්ම පෝෂණය කිරීමේ අරමුණෙන් තමයි මේ විදිහේ මුලුතැන් ගෙවල් හදලා තියෙන්නේ. කාර්යාලය තුල ඕනෑවටත් වඩා තියෙන ඉඩ ප්‍රමාණයේ සේවකයින්ට නිදහසේ ඉන්න පුළුවන්. නිදහස් මනසක් ගතකරන්න විශාල පුස්තකාලයක් වගේම මින්මැදුරකුත් Google කාර්යාලයේ තියෙනවා. ජල තරංග වලින් සමන්විත තටාක, කාර්යාල ඇතුලත සහ පිටත ක්‍රීඩාගාර, නොමිලේ ආහාර පාන යනාදි පහසුකම්ද තියෙනවා. මීට අමතරව සේවකයින්ගේ පීඩනය සහ සෞඛ්‍ය මට්ටම වර්ධනය කරන නොයෙකුත් ශාරීරික යොග්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. සේවකයින්ට නිල ඇඳුමකින් තොරව ඩෙනිමක්, ටී-ෂර්ට් එකක් ඇඳගෙන සේවයට එන්නට පුලුවන්. නොමිලේ කොණ්ඩා කැපීමට, රෙදි ලොන්ඩරියට දැමීමට, වාහනය සෝද ගැනීමට, කුඩා දරුවන් බලාගැනීමට මෙන්ම නොමිලේ වෛද්‍ය පහසුකම් යනාදියත් ලැබෙනවා. ඒවගේම අවශ්‍යනම් සේවකයාගේ සුනඛ සුරතලාද කාර්යාලයට රැගෙන එන්න අවසර තියෙනවා. ඒ නිසයි මේ Google සමාගම දැනටමත් ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිහින සමාගම බවට පත්වී තිබෙන්නේ.


එෆ්. ෂර්මිලා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here