හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ ලක්ෂ 70ක සොරකමක්

0
25

පොදුජන පෙරමුණට පාලන බලය හිමි හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් සෙවිලි තහඩු සහ වැසිකිළි සඳහා ආධාර බෙදා දීමේ ව්‍යාපෘතියකින් රුපියල් ලක්ෂ හැත්තෑවකට අධික මුදල් වංචා කර ඇත. මේ බව අනාවරණය වන්නේ අල්ලස් හෝ දූෂණ කොමිසමට ප‍්‍රාදේශීය සභාවේ ජවිපෙ මන්ත‍්‍රී, අනුර පනාගොඩ කළ පැමිණිල්ලකට අනුවයි. ජවිපෙ මන්ත්‍රී කණ්ඩායමත්, හෝමාගම බදු ගෙවන්නන්ගේ සංගමයත් නීතිඥ සුනිල් වටගල හා එක්ව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා අඩි 10 සෙවිලි තහඩු ලබාදීමේ ව්‍යාපෘතියට සෙවිලි තහඩු මිල දී ගැනීමේ දී මෙම වංචාව සිදු කර ඇත.

සභාවේ මුදල් හා ප‍්‍රතිපත්ති කාරක සභාවේ දී අනුමත වූ සෙවිලි තහඩු වර්ගය වෙනුවට වෙනත් තහඩු වර්ගයක් මිල දී ගැනීම, සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට වඩා වැඩි මුදලකට සෙවිලි තහඩු මිල දී ගෙන තිබීම, සභාපතිවරයාගේ හිතවතකුට අයත් ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙළෙඳ සලකින් මිල දී ගැනීම ඇතුළු අක‍්‍රමිකතා රැසක් සභාපතිවරයා සිදු කර ඇතැයි ජවිපෙ මන්ත්‍රී අනුර පනාගොඩ පැවසී ය. අදාළ වෙළෙඳ සලෙහි සෙවිලි තහඩුවක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 2,100.00ක්ව තිබිය දී සභාව විසින් මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 2,480.00ක් වැනි මිලකට ය. සෙවිලි තහඩු 1,040ක් මිල දී ගෙන ඇති අතර, මිල දී ගැනීමේ දී සිදු කර ඇති වංචාව රුපියල් 3,95,200.00කි. එමෙන්ම එය අදාළ සමාග මේ නියෝජිතයකු විසින් ලබා ගත්තේ නම්, එක් තහඩුවක් රුපියල් 1,803.75ක මුදලට ලබා ගැනීමට හැකිව තිබූ බව මන්ත්‍රීවරයා පවසයි. ඒ අනුව සිදු කර ඇති වංචාව රු.7,03,300.00කි. එමෙන්ම මීට සමගාමීව සිදු කර ඇති වැසිකිළි ආධාර ව්‍යාපෘතියක් සඳහා මිල දී ගැනීම්වලදී ද තවත් මුදල් අක‍්‍රමිකතාවන් සිදු කර ඇති අතර, සභාපතිවරයා මෙම ව්‍යාපෘතිවල දී සිදු කර ඇති වංචාව මිලියනයකට අධික බව ගණන් බලා තිබෙන බවයි ඔහු පැවසුවේ.


සිසිර යාපා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here