අසෝකයන්ගේ අවසන් කාලය

0
1005

සති දෙකකට පමණ පෙර සිට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක් විය. චම්පා තිලකරත්න මහත්මිය පවසන පරිදි සුපුරුදු වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා ගත්ත ද ඔහු ආහාර අරුචියකින් පෙළුනේ ය. ඒ වකවානුවේ හදිසියේ අභාවප්‍රාප්ත වූ නිවේදකයින් වූ අමර ගුණසේකර සහ රම්‍යා වනිගසේකරගේ වියෝග හේතුවෙන් ඔහු කම්පනයට පත් ව සිටියේ ය.
ලබා ගත් ප්‍රතිකාරවලින් නිසි සුවයක් නොලද හෙයින් කළුබෝවිල රෝහලට යමු යැයි තිලකරත්න මහත්මිය යෝජනා කළා ය. එහෙත් අසෝක සර් ඊට අදිමදි කර තිබිනි.
සෙම් තත්ත්වය හේතුවෙන් ඇති වූ අපහසුතාවෙන් ඔහු පීඩා වින්දේ ය. එහෙත් සිය ප්‍රිය බිරිය නිවසේ තනි වන නිසාත්, ඇයට රෝහලට ඒමට ඇති අපහසුතා නිසාත් හෙතෙම රෝහලට යාම ප්‍රතික්ෂේප කළේ ය.
මාර්තු 12 වැනි දා සන්ධ්‍යාව එතරම් යහපත් වූයේ නැත. තිලකරත්න මහත්මිය ගිලන්රියක් ගෙන්වා ඔහු කළුබෝවිල රෝහලට රැගෙන ගියා ය.
ඒ වනවිට සිරුරේ රුධ්රයේ සීනි මට්ටම පහත වැටී තිබූ හෙයින් අසෝක සර් දැඩි සත්කාර ඒකකයට යොමු කෙරිනි. පුරා ⁣දෙපැයක් එහි රඳවා තැබුනු අසෝකයන් වාට්ටුවකට මාරු කෙරිනි. එහෙත් පෙර දා තිබූ සුවපත් ගතියක් ඔහු කෙරෙන් දිස් වූයේ නැත.
පසු දා උදේ කාලයේත්, දහවල් කාලයේත් ඔහුගේ සුවය ප්‍රාර්ථනා කරමින් රෝහලට ගිය බිරියට පෙර දා රාත්‍රියට වඩා කිසිදු වෙනසක් සිය සැමියා කෙරෙන් දක්නට නොලැබිනි. ඇය අපේක්ෂා සහගත ව යළි නිවසට පැමිණියා ය.
දහවල ඉක්ම යන කල රෝහලෙන් ඇයට ඇමතුමක් ලැබිනි.
“.. පොඩ්ඩක් ඉස්පිරිතාලෙට ඇවිත් යන්න එන්න..!”
ඒ සිය සැමියා දකින්නට රෝහලට යන අවසන් ගමන බව ඇය සිහිනෙන් හෝ නොසිතුවා ය.
අපේ අසෝක සර් සදහට ම දෙනෙත් පියා ගත්තේ ඊට මොහොතකට පෙර ය.
ඔහු ජීවත් ව සිටිය දී හැකි සෑමවිටක ම ඔහුගේ සුවදුක් විමසා බලන්නට එම නිවසට ආ ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න ඒ මොහොතේ ද සිය ජ්‍යෙෂ්ඨ ගුරුවරයා හෙවත් ‘අසෝක අයියා’ වෙනුවෙන් පෙරමුණ ගත්තේ ය. රන්ජන් පුෂ්පකුමාර ද කැටි ව පැය කිහිපයක් ඇතුළත සියලු කටයුතු සංවිධාන කරන්නට ඔහු යුහුසුළු විය.
මාර්තු 14 වැනි දා පෙරවරු 08.30 ට බොරලැස්ගමුව මල් ශාලාවේ මැද සාලයක, සුපුරුදු යුරෝපීය ඇඳුමින් සැරසී, උත්තුංග දේහධාරී ව, මල් ⁣ගොමු මැද මගේ ‘අසෝක සර්’ උඩුකුරු ව සයනය කරයි. මැයි 15 වැනි දා පස්වරු 03.00 ට එතුමන්ගේ භෞතික රූපකාය ද වා තලයට එක් වනු ඇත.
වයසින් 82 ඉලක්කම පසු කළ ද, හෙතෙම දිනෙන් දින යාවත්කාලීන වූ බුහුටි යෞවනයෙක් විය. ප්‍රියමනාප, මිත්‍රශීලී වැඩිහිටියෙකු විය. මසකට පමණ ඉහත පුද්ගලික නාලිකාවක මා සහභාගි වූ ගී තේරීමේ වැඩසටහනකට මුල සිට ම සවන් දෙමින් සර් ඉතා සතුටට පත් ව සිටියේ ය.

ඒ බව සනාථ කරන්නට ඔහු වරින් වර අදාල මුහුණු පොත් පිටුවට කෙටි පණිවුඩ එවී ය. එය මට පමණක් නොව, ඔහු කැමති සැම දෙයකට ම එසේ ම විය. ඒ පසුකාලීන අසෝක සර්ගේ අන්‍යයන්, විශේෂයෙන් නව පරපුර ඇගයීමේ ගුණාංගයයි.
එතුමන් මේ මොහොතේ අපෙන් බොහෝ ඈතට ⁣ගොසිනි. කාටත් පොදු ධර්මතාව සර්ටත් වෙනස් නොවේ. එහෙත් ඒ දැනුම, අත්දැකීම් හා මුසු වූ මහා පෞරුෂය අතීතයට එක් ව ගුවන්විදුලි නිවේදන කලාව නමැති මහා පුස්තකයේ තද අකුරින් මුද්‍රිත මහා පරිච්ඡේදයක් වනු නොඅනුමාන ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here