අසෝක තිලකරත්න කළුරිය කරයි.

0
941

ජ්‍යෙෂ්ඨතම ගුවන්විදුලිවේදී අසෝක තිලකරත්න අභාවප්‍රාප්ත වෙයි.

2024 මාර්තු 12 වැනි දා පස්වරුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ හෙතෙම 13 වැනි දා පෙරවරුවේ කළුබෝවිල රෝහලේ දී කළුරිය කළේ ය.

1942 නොවැම්බර් මස 27 වැනි දා උපන් වාද්දුවගේ අසෝක පෙරේරා තිලකරත්න කොළඹ නාලන්දා  විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. කුඩා කල පටන් ගුවන්විදුලියට සහ තාක්ෂණයට ඇල්ම පෑ ඔහු ඒ නිසාවෙන් ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නිවේදක තනතුරකට අයදුම් කළේ 1967 දී ය.

ඒ අනුව ඉංග්‍රීසි සහන නිවේදකයෙකු ලෙස පත්වීම ලද ඔහු, සිංහල නිවේදකයෙකු වීමේ නොතිත් ආශාවෙන් නැවතත් පරීක්ෂණයකට පෙනී සිට 1969 වර්ෂයේ සිංහල සහන නිවේදකයෙකු ලෙස එම නිවේදක මඬුල්ලට තේරී පත් විය.

ඉතා ගම්භීර හා සුපැහැදිලි හඬ පෞරුෂයකට හිමිකම් කී අසෝකයෝ ප්‍රවෘත්ති කිවේදකයෙකු, සම්බන්ධතා මැදිරි නිවේදකයෙකු, බාහිර ප්‍රචාර ශිල්පියෙකු, නිෂ්පාදකවරයෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසක සිය අණසක පැතිරවූ හ .

පසුව සිටි එෆ්එම් පාලකවරයා ලෙස කටයුතු කළ හෙතෙම 1996 වසරේ කීර්තිමත් ගුවන්විදුලිවේදියෙකු වූ නිව්ටන් ගුණරත්න හා එක් ව ලක්හඬ ගුවන්විදුලිය ඇරඹීමට පුරෝගාමී විය. ඔහු එහි ආරම්භක වැඩසටහන් කළමනාකාරවරයා ද විය.

කීර්තිමත් පරිපාලන නිලධාරියෙකු හා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල්ධුරය ඉසිලූ රිජ්වේ තිලකරත්න ඔහුගේ එක ම වැඩිමහල් සොයුරා විය.

1986 වසරේ චම්පා ජානකී අම්බලන්දූව මෙනෙවිය හා විවාපත් වූ අසෝක තිලකරත්නයන් මිය යන තෙක් ම දෙල්කඳ සිය නිවසේ විසූවේ ය.

ඔහුගේ දේහය ජනතා ගෞරව පිණිස මාර්තු 14 වැනි දා පෙරවරුවේ සිට බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කර තැබේ.
අවසන් කටයුතු 2024 මාර්තු මස 15 වැනි සිකුරාදා පස්වරු 03.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව අවමංගල්‍ය සංවිධාන කමිටුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන තිලකරත්න සහ රන්ජන් පුෂ්පකුමාර පැවසූ හ.

ලක්දනට නිරතුරු ආශිර්වාද කළ අසෝක තිලකරත්න පියාණන්ට නිවන් සුව අත් වේවා!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here