“ක්‍රිකට් තරගයක් නැවැත්වීමට බැරි ජනාධිපතිකම මොකටද”

0
23

කොරෝනා රෝගය පැතිරීමේ අනතුර ප්‍රකට කළ රෝයල්-තෝමියන් තරගය නතර කිරීමේ බලතල පවතින තත්වය යටතේ ජනාධිපතිවරයා සතු බව ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට දිනා දුන් එකම නායකයාවන අර්ජුන රණතුංග පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මාර්තු 17 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුනේ පසුගිය සති අන්තයේ පැවැති කොළඹ රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය අත්හිටුවන ලෙස තමා උපදෙස් ලබාදුන්නද ඊට කන් නොදී සංවිධායකයන් විසින් තරගය පැවැත්වූ බව යි.

“දැන් අනිත් තරග ඔක්කොම නැවතිලා තියනවා. රාජකීය සාන්ත තෝමස් කියන්නේ මේ රටේ අවශ්‍යම දෙයක් නෙමෙයි.ඉතින් ඒක නවත්තන්න අධ්‍යාපන අමාත්‍යවරයෙක් ඉන්නවා. ජනාධිපතිවරයෙක් ඉන්නවා. අගමැතිවරයෙක් ඉන්නවා. ඒගොල්ලන්ට ඕනේ නම් තිබුනා”

යැයි හිටපු අමාත්‍යවරයකු ද වන අර්ජුන රණතුංග කියා සිටියේ මාර්තු 18 දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව සලකා බලා ප්‍රේක්ෂකයන් විශාල වශයෙන් ගැවසෙන මෙම මහා ක්‍රිකට් තරගය අත්හිටුවන ලෙස තමා ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාර නොදැක්වූ බවද ජනාධිපතිවරයා පවසා තිබුනි.

ජනාධිපතිවරයා එම බිග් මැච් එකට සහභාගී වී සිටි අයුරු

පසුව අනාවරණය වුයේ රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණු බවයි.

වෛරසය ආසාධිතයාගෙන් තරගය නැරඹීමට පැමිණි අන් අයටත් වෛරසය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක්ද කර තිබුණි.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේ වෛරස් ආසාදිතයා සමීපයේ සිටි සැලකිය යුතු සංඛ්‍යාවක් (30-40) වසංගත රෝග විද්‍යා අංශය මගින් මේ වන විට හදුනාගෙන ඇති බවයි.

ස්වයං නිරෝධායනය සදහා යොමු වන ලෙස එම පිරිසට දුරකතනයෙන් දැනුම් දී තිබෙන බව ඔහු වැඩි දුරටත් සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී සුවසැරිය සෞඛ්‍ය තොරතුරු මධ්‍යස්ථානය සදහන් කර තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැති වාර්ෂික ක්‍රිකට් තරග නැරඹීම සදහා පැමිණ සිටි විශාල පිරිසක් තම මධ්‍යස්ථානය අමතා නිරෝධායන ක්‍රියාවලිය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගත් බවයි.

දුරකථනයෙන් උපදෙස් පැතූ එම පිරිසට ස්වංය නිරෝධායනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව එම මධ්‍යස්ථානය වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here