සුනිල් රත්නායක – ඇත්ත කතාව – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව

0
23

සුනිල් රත්නායක – ඇත්ත කතාව 01

සුනිල් රත්නායක – ඇත්ත කතාව 02

සුනිල් රත්නායක – ඇත්ත කතාව 03

සුනිල් රත්නායක – ඇත්ත කතාව 04

සුනිල් රත්නායක – ඇත්ත කතාව 05

සුනිල් රත්නායක – ඇත්ත කතාව 06

සුනිල් රත්නායක – ඇත්ත කතාව 07

සුනිල් රත්නායක – ඇත්ත කතාව 08

සුනිල් රත්නායක – ඇත්ත කතාව 09

සුනිල් රත්නායක – ඇත්ත කතාව 10

ඒ අනුව සළකා බැලීමට ඉතිරි වන්නේ පොදු චේතනාව යටතේ ප්‍රතිසම වගකීම පැවරෙන්නාවූ 11 සිට 19 දක්වා වන අධි චෝදනාවන් වේ. රවිවර්මන් ආපසු රැගෙන ඒමෙන් පසු සිදුවූ දෙය පිළිබදව මහේෂ්වරන්ගේ සාක්ෂිය සුවිශේෂී වැදගත්කමකින් යුතුය. ඔහුගේ සාක්ෂිට අනුව රවිවර්මන් ආපසු ගෙන ඒමත් සමගම හමුදා පුද්ගලයන් මහේෂ්වරන් සහ අනෙකුත් ගැමියන්ට අත් වලින් සහ පොළු වලින් පහරදීමට පටන්ගෙන ඇත. ඉන්පසු මහේෂ්වරන්ගේම සරමෙන් ඔහුගේ ඇස් බැද ඇති අතර පහරදීම දිගින් දිගටම සිදුවී ඇත. ඉන්පසු මහේෂ්වරන් ක්ලාන්තයට පත්වූ බව ඔහු ප්‍රකාශ කරයි. ඔහුගේ අනෙකුත් සාක්ෂි පිළිබදව මීට ඉහත සාකච්ඡා කර තිබේ.

මෙම සිදුවීමට සම්බන්ධ වූ අනෙකුත් පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් පිළිබදව සාක්ෂි සමග චූදිත අභියාචක සුනිල් රත්නායකගේ දායකත්වය එක්ව ගත් කල ඔහු තමා විසින් කරන ලද කාර්යයන් සම්බන්ධයෙන් පමණක් නොව දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තියේ සදහන් පොදු චේතනාව යටතේ සුනිල් රත්නායක සමග සිටි අනෙක් පුද්ගලයන් සිදුකරන ලද කාර්යයන්ටද වගකිවයුතු බව පැහැදිලි වේ.

මෙම නඩුවේ දක්නට ඇති ලක්ෂණ අනුව සහභාගි වූ පුද්ගලයන් සියලු දෙනාම පොදු චේතනාවෙන් යුතුව කටයුතු කර ඇති බව සිතීමට සිදුවේ. ඉහත සදහන් කළ පරිදි රවිවර්මන් ආපසු ගෙන ආ වහාම සුනිල් රත්නායකද ඇතුළුව එහි සිටි හමුදා පුද්ගලයන් ගැමියන් කණ්ඩායමට පහරදීමට පටන්ගෙන ඇත. මෙම පහරදීම සියලුදෙනාම එක්වරම ආරම්භ කිරීම තුලින් ඊට සම්බන්ධ වූ හමුදා පුද්ගලයන්ගේ පොදු චේතනාව හෙළිදරව් වේ. වෛද්‍ය සාක්ෂියට අනුව ඝාතනයට ලක්වූ පුද්ගලයන් සියලු දෙනාටම සිදුවී තිබූ මරණීය තුවාලය එක හා සමාන වේ. එනම් පිටුපස සිට බෙල්ල කපා දැමීමකි. සියළුම මළසිරුරු වළදමා තිබුණේද මහේෂ්වරන් ඇතුළු පිරිසට හමුදා පුද්ගලයන් මුණගැසුනු ස්ථානයට ආසන්නයේ පිහිටි එකම ස්ථානයකය. එපමණක් නොව මෙකී ගැමියන් දෙසැම්බර් 19 දින මිරුසුවිල් ප්‍රදේශයට පැදගෙන ආ බයිසිකල් වින් හතරක් මළසිරුරු තිබූ ස්ථානයට ආසන්න ස්ථානයක තිබී හමුවී ඇත. මෙම සියලුම දෑ එක් පුද්ගලයෙකු විසින් සිදුකලා වීමට ඇති ඉඩ ඉතා අල්ප වේ. ඒ අනුව මෙම සියලුම ක්‍රියාවන් පුද්ගලයන් එක් අයෙකුට වඩැ වැඩි ගණනක් විසින් සිදුකර ඇති බව සිතීම යුක්තිසහගත වේ. තවද මරණයන් සිදුවූ වේලාවද මහේෂ්වරන්ගේ සාක්ෂිය සමග සමපාත වේ.

මරණයට පත්වූවන් අවසාන වරට දකින විට ඔවුන් සුනිල් රත්නායක සහ ඔහු සමග සිටි අනෙකුත් හමුදා පුද්ගයන් විසින් රදවාගනු ලැබ තිබුණි. පුද්ගලයන් දෙදෙනෙකු විසින් මහේෂ්වරන් කැදවාගෙන ගොස් ඔහු වැටට උඩින් විසිකරන ලද අවස්ථාවේද එකී පුද්ගලයන් කිසිවෙකු දක්නට නොසිටි අතර එහිදීද මහේෂ්වරන්ට පහරදෙනු ලැබ ඔහුව වැසිකිළි වල අසළට රැගෙන ගොස් ඇත. ඒ අවස්ථාවේදී මහේෂ්වරන් ඒ අසළ කිණිස්සක් අතැතිව සිටින පුද්ගලයෙකු දැක ඇත. එමෙන්ම වැසිකිලි වලේ කොන්ක්‍රීට් ලෑල්ල මත තැවරුණු ලේද (මෙය රජයේ රසපරීක්ෂකවරයාගේ සාක්ෂය මගින්ද තහවුරු කර ඇත) දැක ඇති අතර වැසිකිළි වල තුල සිට යමෙකු දගලනවා වැනි චලනයන් දැනී ඇත. ඒ අවස්ථාවේදී යම් අයෙකු විසින් වැටෙහි පැටලුණු මහේෂ්වරන්ගේ සරම නැවතත් ගෙනැවිත් ඔහුගේ ඇස් බැදීමට උත්සාහ දර ඇත. එවිට මහේෂ්වරන් එම පුද්ගලයාව තල්ලු කර දමා පැන දුවා ඇත.

ඉහත දැක්වෙන නොසළකා හැරිය නොහැකි කාරණා සළකා බලන විට මෙම ගැමියන් කණ්ඩායමට මරණීය තුවාල සිදුකරන ලද්දේ චූදිත අභියාචක සුනිල් රත්නායක සහ කණ්ඩායම විසින් බව තහවුරු වේ. එමෙන්ම එකී තුවාල වල ස්වභාවය අනුව එම තුවාල මරණය සිදුකිරීමේ අරමුණින්ම සිදුකරන ලද ඒවා බවට නිගමනය කළ හැකිය. එැබැවින් එසේ හෙයින් පැමිණිල්ල විසින් 11 සිට 18 දක්වා ඇති අධි චෝදනාවන්ගේ ඇතුලත් මිනීමැරීමේ චෝදනාවද 19 වැනි අධිචෝදනාවේ ඇතුලත් මහේෂ්වරන්ට තුවාල සිදුකිරීමේ චෝදනාවද සාර්ථක ලෙස ඔප්පු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී.

මීට පෙරද සදහන් කරන ලද පරිදි මෙම නඩුවේදී චූදිත අභියාචක සුනිල් රත්නායක වෙනුවෙන් පෙනී සිටින ලද උගත් ජනාධිපති නීතිඥතුමන් මහේෂ්වරන්ගේ සාක්ෂිය දුර්වල සාක්ෂියක් බවත් එසේ හෙයින් ඒ මත පිහිටා කටයුතු කිරීම ආරක්ෂා කාරී නොවන බවටත් තර්ක කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට ගොණු කරන ලද වාචික සැළකිරීම් සහ ලිඛිත සැළකිරීම් වලදී මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇති පරස්පරතාවයන් සහ ඌණතාවයන් ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරවා ඇත. මෙම තත්වය ප්‍රවේශමෙන් සළකා බලන ලද ශ්‍රේෂ්ඨාධිකරණය මෙම සිදුවීමේ ස්වභාවය සිද්ධියට අදාළ භූගෝලීය ප්‍රදේශයේ පැවති ආරක්ෂක තත්වය සහ එහි ජීවත් වූ මිනිසුන්ගේ සිත් තුල ඇති බිය යනාදී කාරණා සළකා බැලීමේදී මහේෂ්වරන්ගේ සාක්ෂියේ ඇතියි කියනු ලබන දුර්වලතා එහි ඇති විශ්වාසනීයත්වයට හානි නොකරන බවට තීරණය කරන ලදී.
බෝගිනිබායි හිර්ජිබායි එදිරිව ගුජරාටි රාජ්‍යය ඒඅයිආර් 983 එස්සී 753 නඩුවේ තක්කාර් විනිසුරුතුමන් දක්වන කරුණක් ශ්‍රේෂ්ඨාධිකරණය උපුටා දක්වා ඇත.

අභියාචකගේ අධිනීතිඥවරයා විශේෂයෙන් අවධානයට යොමු කරවන ලද සුළු පරිමාණ අඩුපාඩු හේතුවෙන් සාක්ෂි නැවත ඇගයීම සදහා තීරණය කළයුතු යැයි අප නොසළකමු. සුළු අඩුපාඩු සදහා පමණට වැඩි වටිනාකමක් ලබාදිය නොහැක. පහත කාරණා අනුව එම සුළු අඩුපාඩු වලට හේතු මෙනවාදැයි පැහැදිලිය.

  1. ඡායාරූපගත මතකයක් මෙන් විශිෂ්ඨ මතයකින් යුතුව සිදුවීමට අදාළ කාරණා ස්මරණය කිරීමට සාක්ෂිකරුවකුට හැකියාව ඇතැයි නොසිතිය යුතුය. මතකය යනුසිදුවීමට අදාළ වීඩියෝ දර්ශනයක් මනස තුල ධාවනය කරවනවා වැනි දෙයක් නොවේ.

  2. සාමාන්‍යයෙන් මුහුණපෑමට සිදුවන සිදුවීම් මගින් සාක්ෂිකරුවා කලබලයට පත්විය හැකිය. අනපේක්ෂිතව මුහුණදීමට සිදුවන යමකදී එය පූර්වයෙන් අපේක්ෂා කිරීමට සාක්ෂිකරුවකුට නොහැකිය. සිදුවීමක සිදුවන සියල්ල ඒ ආකාරයෙන්ම මතකයේ රැදෙනු ඇතැයි ඒ අනුව අපේක්ෂා කළ නොහැක.

  3. යමක් නිරීක්ෂණය කිරීමේ ශක්‍යතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එක් පුද්ගලයෙකුගේ අවධානයට ලක්වන දෙයක් තවත් පුද්ගලයෙකුගේ අවධානයට ලක් නොවිය හැකිය. යම් ද්‍රව්‍යයක් හෝ චලනයක් එක් පුද්ගලයෙකුගේ මතකයේ රැදීමටද අනෙක් පුද්ගලයාගේ අවධානයට එය ලක් නොවී තිබීමටද ඒ අනුව ඉඩ තිබේ.

  4. පෙර සිදුවූ සංවාදයක් එහිදී පාවිච්චි කළ වචන වලින්ම ඔවුන්ට ඇසුණු වචන වලින්ම මතකයේ රදවා ගැනීමට හා නැවත ප්‍රකාශනය කිරීමට පුද්ගලයෙකුට නොහැක. ඔවුන්ට අදාළ සංවාදයේ ප්‍රධාන හරය සිහිපත් කළ හැකිය. සාක්ෂිකරුවෙකු පණ ඇති පටිගතකිරීමේ යන්ත්‍රයක් ලෙස සැළකීම යථාර්ථවාදී නොවේ.

  5. අදාළ සිදුවීම සිදුවූ නිෂ්චිත වේලාව හෝ කාල පරාසය සම්බන්ධයෙන් ගත්කල ප්‍රශ්න කිරීමට ලක්වන අවස්ථාවේ ඇතිකරගන්නා අනුමානයන් මත පිළිතුරු දීම සිදුවේ. එවැනි කාරණා සම්බන්ධයෙන් ඉතා නිෂ්චිත අනුමානයන් පුද්ගලයන් විසින් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. තවද එය වේලාව සහ කාලය සම්බන්ධයෙන් එක් එක් පුද්ගලයාට දැනෙන ආකාරය අනුව වෙනස් විය හැකිය.

  6. සාමාන්‍යයෙන් ඉතා වේගයෙන් ළග ළග සිදුවන සිදුවීම් දාමයකදී එහි එක් එක් සිදුවීම් ඉතා නිවැදිව අනුපිළිවෙලින් ස්මරණය කිරීමක් සාක්ෂිකරුවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක. පසුව ප්‍රශ්න කිරීමේදී සාක්ෂිකරුවකු කලබලයට පත්වීමට මෙන්ම සිදුවීම් පටලවා ගැනීමටද හැකියාව ඇත.

එබැවින් මහේෂ්වරන්ගේ සාක්ෂිය විශ්වසනීය සාක්ෂියක් ලෙස සළකා ඒ මත පිහිටා කටයුතු කරමින් අධිචෝදනා පත්‍රයේ 11 සිට 19 දක්වා එම චෝදනා දෙකත් ඇතුලත්ව වන අධි චෝදනාවන් සම්බන්ධයෙන් චූදිත අභියාචක සුනිල් රත්නායක වරදකරු බවට මහාධිකරණය ගත් තීරණය නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කරන ලදී. එසේ හෙයින් එකී චෝදනාවන් සම්බන්ධයෙන් සුනිල් රත්නායක වරදකරු කිරීමද ඒ සදහා පණවා ඇති දඩුවම් තහවුරු කිරීමටද කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනයට අර්ධ වශයෙන් ඉඩ ලබාදෙමින් තීන්දු ප්‍රකාශය අවසන් කර ඇත.

මෙම තීන්දු ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු බුවනෙක අළුවිහාරේ මැතිතුමන් විසින් සටහන් කරන ලදුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන ගරු නලීන් ජේ පෙරේරා ගරු සිසිර ද ආබෲ ගරු ප්‍රියන්ත ජයවර්ධන ගරු මර්දු එන් බී ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් අනුමත කිරීමෙන් පසු ප්‍රකාශයට පත්කොට ඇත.


සමාප්තයි


සුනිල් රත්නායක – ඇත්ත කතාව
පසුවදන

සුනිල් රත්නායක නඩු තීන්දුව 2019 අප්‍රේල් මස එය නිකුත් වී මසක පමණ කාලයක් ඇතුලත මගේ අතට ලැබුණි. එය කියැවීමෙන් පසු එය අනිවාර්යයෙන්ම සිංහල භාෂාවෙන් කියවන පාඨකයාට කියැවිය හැකි පරිදි සිංහලයට පරිවර්තනය කළ යුතු බවට මම තීරණය කළෙමි. ඒ අනුව එම කටයුත්ත ආරම්භ කර අඩක් නිමවා තිබියදී කාර්යබහුලත්වය හේතුවෙන් එම කටයුත්ත අතරමග නතර විය. ඉන්පසු නැවතත් එම කටුයුත්ත ආරම්භ කරන ලද්දේ කොරෝනා වෛරසය හේතුවෙන් ඇදිරි නීතිය පණවනු ලැබ නිවසට වී සිටින අවස්ථාවක සුනිල් රත්නායකට සමාව දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කිරීමත් සමගය.

අදාළ පුවත සැළවූ වහාම ඒ වන විට මා පරිවර්තනය කර තිබූ කොටස ෆේස්බුක්හි පළකොට නඩු තීන්දුවේ අනෙක් කොටස පරිවර්තනය කරමින් කොටස් වශයෙන් ෆේස්බුක්හි පළ කළෙමි. එය අවසානය දක්වා සිදුකරගැනීමට හැකියාව ලැබීම පිළිබදව මම අවංකවම සතුටට පත්වෙමි.

සුනිල් රත්නායක නඩුව කියැවීමේදී ඒ පිළිබදව නොදත් බොහෝ දෙනා සිදුකරන ඇතැම් සාවද්‍ය ප්‍රකාශ මම දැක ඇත. එය හමුදාවේ දිගුදුර විහිදුම් බලකාය මගින් සිදුකරන ලද මෙහෙයුමක් බව ඇතැමුන් කියති. බාලවයස්කාරයන් වුවද ආයුධ සන්නද්ධව සිටි ත්‍රස්තවාදීන් පිරිසක් සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී සිදුවූ මරණ බව කියන අයද වෙති. මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූවක් බවත් 2015න් පසු බලයට පත්වූ දේශපාලන අධිකාරියේ වුවමනාවට සිදුවූවක් බවත් කියන අයද වෙති.

මේ සියල්ල සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව කිව යුතුය. මෙම ඝාතනයන් සිදුවන්නේ හමුදා පාලන ප්‍රදේශයක් තුලදීය. සාමාන්‍යයෙන් දිගුදුර මෙහෙයුම් සිදුකරන්නේ එල්ටීටීඊ පාලන ප්‍රදේශවලය. එය කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුවූ දෙසැම්බර් 19 වැනිදා තමන්ට කිසිදු මෙහෙයුමක් පැවරී නොතිබූ බව සුනිල් රත්නායක අධිකරණයේදී විත්ති කූඩුවේ සිට කළ ප්‍රකාශයෙන්ම තහවුරු වේ. ඒ අනුව දිගුදුර මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස මෙම මරණ සිදුවූයේය යන ස්ථාවරය එයින් බිද වැටේ.

යුධමය කාර්යය අතරතුර වෙඩි හුවමාරුවකදී මෙම මරණ සිදුවීයැයි කිය ස්ථාවරයද ඒ සමගම බිද වැටේ. මෙම මළ සිරුරු වල වෙඩි උණ්ඩ වලින් සිදුවූ කිසිදු තුවාලයක් හමුවී නැත. ඒ වෙනුවට මරණයට පත්වූවන්ගේ පිටුපස සිට ශීර්ෂ පෝෂී ධමනි දෙකම කැපී වෙන්වී යන පරිදි ගෙල ඉදිරිපසින් සිදුකරන ලද එක හා සමාන කැපුම් තුවාල අටක් හේතුවෙන් මෙම අටදෙනා මියගොස් තිබේ. පිහි මගින් කරනු ලබන සටනකදී වුවද එවන් එක හා සමාන තුවාල අටක් සිදුකිරීමට කිසිදු හැකියාවක් නොමැත. එනම් මෙම මරණයන් සිදුවී ඇත්තේ මරණයට පත්වූ තැනැත්තන් ඝාතකයන්ගේ බලහත්කාරය යටතේ සිටින අවස්ථාවකදීමය. එබැවින් යුද්ධය අතරතුර සිදුවූ මරණ නොව ඒවා මිනීමැරුම් බවට කිසිදු සැකයක් නොමැත. තවද මෙම මළ සිරුරු වළලා තිබූ ස්ථානය සොයාගනු ලබන්නේ සුනිල් රත්නායකගේ මග පෙන්වීම යටතේය. ඒ අනුව මෙම සිදුවීමට සුනිල් රත්නායකගේ තිබූ සබදතාවයද මනාව පැහැදිලි වේ.

ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හෝ 2015න් පසු බලයට පත්වූ දේශපාලන අධිකාරියේ වුවමනාව මත සුනිල් රත්නායක වරදකරු කරන ලද්දේය යන ස්ථාවරය සම්පූර්ණයෙන්ම සිනා උපදවනසුළු එකකි. මන්ද සුනිල් රත්නායක අත්අඩංගුවට පත්වන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංගය. විමර්ශන මෙහෙයවන ලද්දේ යුධහමුදා පොලීසිය විසින්ය. ඉන්පසු අධිකරණ කටයුතු වලින් වැඩි හරියක් සිදුවූ කාලසීමාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂය. නඩු විභාගය සිදුවූයේ ශ්‍රී ලංකාවේ විනිසුරු වරුන් ඉදිරිපිටදීය. එය කුමක් වුවද සාක්ෂි සළකා බැලීමේදී නඩු තීන්දුවේ මේ යැයි පෙන්වා දියහැකි අඩුපාඩුවක්ද නැත.

එසේ හෙයින් අධිකරණය විසින් සුනිල් රත්නායක වරදකරු කිරීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ තැන්වල කියූ විවිධ කතා හුදු සුරංගනා කතා පමණි. වසර 15ක් තිස්සේ නඩුව විභාග වෙද්දී අධිකරණයට ගොස් ඔය සුරංගනා කතා කීමට කිසිවෙකු ඉදිරිපත් වූයේද නැත.

එබැවින් මාගේ පුද්ගලික මතය වන්නේ සුනිල් රත්නායක මෙම නඩුවේ ප්‍රශ්නගත අපරාධය සිදුකළ අපරාධකරුවෙකු බවත් ඔහු සහ පිරිස කිසිසේත්ම එම අපරාධය යුද්ධයේ කොටසක් ලෙස සිදුකරන ලද්දක් නොවන බවත්ය. ඒ අනුව ඔහුට ලැබී තිබූ දඩුවම ඉතා සාධාරණ වූ අතර එයට සමාව නොදිය යුතුව තිබුණි. නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ඔහුට ඇති බලතල ප්‍රකාරව සමාව ලබාදී ඇති අතර එය නීතිමය වශයෙන් අභියෝගයට ලක්කල හැකි ක්‍රමයක් නැත.

මේ පිළිබදව විවිධ පුද්ගලයන් විවිධ මත දරණ බව පෙනේ. ඔබ සුනිල් රත්නායකට සමාව දීමට විරුද්ධ අයෙකු විය හැකිය. ඊට පක්ෂ අයෙකු විය හැකිය. කවුරුන් වුවද එයට විරුද්ධ වීම හෝ පක්ෂ වීම අන්ධයෙකු ගොළුවෙකු බිහිරෙකු මෙන් නොදැනුවත්ව සිදු නොකර තමා විරුද්ධ වන්නේ හෝ පක්ෂ වන්නේ කුමකටද යන්න ඇති සැටියෙන් දැනගෙන එම ස්ථාවරය දැරීම අතිශය වැදගත් වේ. මේ සදහා කාලය මිඩංගු කොට මෙම පරිවර්තන කාර්යය මා විසින් සිදුකරන ලද්දේ තමා පක්ෂ වන්නේ හෝ විරුද්ධ වන්නේ කුමකටදැයි දැනගෙන අදාළ ස්ථාවරය දැරීමට කැමති සිංහල භාෂාවෙන් කතා කරන සිහිබුද්ධිය ඇති මිනිසුන් වෙනුවෙනි.

එම කාර්යය සමහරෙක්ගේ පැසසුමටද සමහරෙකුගේ විවේචනයටද ලක්විය. සමහරු මා දුරකථනයෙන් පවා අමතා එම කාර්යය නවතා දමන ලෙස ඉල්ලා සිටින ලදී. ෆේස්බුක් මැසෙන්ජර් හරහාද එවැනි ඉල්ලීම් බොහෝ ගණනක් සිදුවිය. තවත් පිරිසක් එම පරිවර්තනයන් ෆේස්බුක්හි පළකරන ලද විට එයට විවිධාකාර කෝපාන්විත සහ උපහාසාත්මක ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට පිළිතුරු දීම සදහා මා පොළඹවා ගැනීමට උත්සාහ කළ අවස්ථාද විය. මා ලියන ලද්දේ මාගේ කතාන්තරයක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ පරිවර්තනය බව මේ දක්වාම නොදන්නා අයද වෙති. නමුත් මේ පරිවර්තන කාර්යය අවසාන වනතුරු මම ෆේස්බුක් ප්‍රතිචාර වලට පිළිතුරු ලබාදීමෙන් සම්පූර්ණයෙන්ම පාහේ වැලකී සිටියෙමි.

ඒ සියල්ල අතර සිංහල බස කතා කරන ජනතාව මෙම නඩුවේ කාරණා විස්තරාත්මකව දැන ගැනීම අනවශ්‍ය බවද එසේ දැනගැනීම ගැටලු සහගත බවද කෙළින්ම කියූ කිහිප දෙනෙකුද විය. යමක් පිළිබදව තොරතුරු ඇති සැටියෙන් දැනගැනීමෙන් සිදුවන හානිය කුමක්දැයි මම එවැනි අයගෙන් විමසා සිටියෙමි. නමුත් එයට ලැබුණු පිළිතුරක් නම් නැත.

මේ සියල්ල එසේ තිබියදී සුනිල් රත්නායක යනු එක් අතෙකින් ශ්‍රී ලංකා ආණ්ඩුව 2000 වසරේ සිට 2020 වසර දක්වා වසර 20ක් තිස්සේ අනුකම්පා විරහිතව පාවිච්චි කරන ලද සර්කස් අශ්වයෙකි. එනම් යුද්ධයේදී මානව හිමිකම් කඩවීම් සිදුවන්නේ යැයි චෝදනා එල්ල වූ සෑම අවස්ථාවකදීම එය එසේ නොවන බව කියමින් එසේ කළ අයට හමුදාව ඇතුලතින්ම ගනු ලබන ක්‍රියාමාර්ග වලට උදාහරණයක් ලෙස සුනිල් රත්නායක පෙන්වා සිටින ලදී. කොරෝනා වෛරසයෙන් ලෝකය ඇලළී ලෝක දිශානතිය ඒ අනුව වෙනස් වෙමින් යන මේ මොහොතේ වසර 11 කට පෙර අවසන් වූ යුද්ධයක් ගැන නැවත ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට නැවත ඉස්පාසුවක් නොලැබෙනවා ඇත. එබැවින් ලෝකයට පෙන්වීමට සුනිල් රත්නායක නම් සර්කස් අශ්වයා කූඩුකර තබාගෙන සිටීම දැන් අවශ්‍ය නොවේ. ඒ අනුව ගත් කළ සුනිල් රත්නායකට සමාව ලබාදීමේ හරි වැරැද්ද කෙසේ වෙතත් එසේ කිරීමට ජනාධිපතිවරයා තෝරාගත් අවස්ථාව දේශපාලනිකව ඉතාම නිවැරදිය.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික හිත මිතුරෙකුද වන හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ අවශ්‍යතාවයද දැඩිව දැනෙන්නට ඇත. ඒ සදහා මග හෙළිපෙහෙළි කිරීම සදහා මූලික පියවරක් වශයෙන්ද සුනිල් රත්නායක නිදහස් කිරීම යොදාගත් බවක් පෙනේ.

ඉතින් මම සුනිල් රත්නායකට සමාව දුන් දිනයේ පටන් මේ මොහොත දක්වාම ඔහු පිළිබදව බොහෝදෑ ලිව්වෙමි. ඒ සියල්ල කෙසේ වුවද ඔහුට දැන් සමාව ලැබී අවසන්ය. ඔහු පියෙකු ලෙස ඔහුගේ දරුවා තුරුලට ගෙන අවසන්ය. එබැවින් නැවත නැවතත් ඔහුව කොණහමින් කෙලෙසක හෝ ඔහුට ලැබුණු නිදහස විහිළුවක් බවට පත්කිරීමට මනුශ්‍යයෙකු ලෙස මම කල්පනා නොකරමි. එසේ හෙයින් මෙම සටහනත් සමග සුනිල් රත්නායක ගැන ලිවීම මම සම්පූර්ණයෙන්ම නතර කරමි. මෙයින් පසු සුනිල් රත්නායක ගැන විවිධ සාකච්ඡා සමාජයේ සහ සමාජ ජාල වල ඇතිවනු ඇත. මම ඒ කිසිවකට ප්‍රතිචාර දක්වන්නට හෝ අපේක්ෂා නොකරමි. මන්ද මම ඒ පිළිබදව ඇති තරම් අධ්‍යයනය කර ඇති තරම් ලියා ඇත.

ඉතින් සුනිල් රත්නායක. ඔබට ලැබුණු නිදහස අර්ථාන්විතව භාවිත කරනු ඇතැයි මම සිතමි.
ඔබට ජය!
සහය දුන් ධෛර්යය දුන් සැමට තුති!


නීතිඥ අථිල අතාවුද

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here