තත්ත්ව පරීක්ෂණ සහ ලියාපදිංචිය තුට්ටුවකට ගණන් නොගෙන ගැබිණි මව්වරුන් අනතුරේ හෙලන ‘Cosmocare’

0
28

ශ්‍රී ලංකාවතුල ඖෂධ සහ ඒ ආශ්‍රිත දේවල් විකිණීම, නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ එම ඖෂධය ලියාපදිංචි කල යුතු නීතිමය තත්ත්වයක් ඇත.

එසේ ලියාපදිංචි නොකළ ඖෂධ නිෂ්පාදනය, ආනයනය කිරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ වරදකි.

එවැනි නීතිමය පසුබිමත් තිබියදීත් ශ්‍රී ලංකාව තුල නීති විරෝධී ලෙස ඖෂධ ජාවාරමේ නියැලෙන්නන් බොහෝ සිටිතත්, කූඨ උපක්‍රම සහ ඉතා රහසිගතව එම නීති විරෝධී ව්‍යාපාර කරගෙන යන නිසා ඔවුන්ව නීතියට හසුවන්නේ ඉතාම අල්ප වශයෙනි.

අප මේ අනාවරණය කරන්නේ එසේ නීති විරෝධී ලෙස සිදුකරගෙන යන ඖෂධ ජාවාරමක් සම්බන්ධයෙන් ය.

Cosmo Care Pharmaceuticals (PVT) LTD නම්, මොහොමඩ් ෆලීල් නමැති පුද්ගලයාට අයත් ව්‍යාපාරයක් මඟින් මෙම නීති විරෝධී කටයුත්ත සිදුකරගෙන යන බවට අපට තොරතුරු ලැබී ඇත. මෙම ව්‍යාපාරය 2017 සැප්තැම්බර් මස සිට මේ වනතෙක් අවුරුදු දෙකක් සහ මාස 11ක් (වසර තුනකට ආසන්න) කාලයක සිට කරගෙන යන්නකි. ඒ, අංක 321/1A, පොරේ බොරලුගොඩ, අතුරුගිරිය. සහ 233/1, කොටා පාර, බොරැල්ල යන ලිපියනයන්වලදී ය.

ප්‍රධාන වශයෙන්ම, එම ආයතනය (Cosmo Care Pharmaceuticals) විසින් ඖෂධ වෙළඳපොළට සැපයුම් කරන Rejucalcium නමැති පෝෂණ අතිරේකය එම ආයතනය විසින් ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි කර නැති අතර, තවත් ආනයනික රූපලාවන්‍ය නිෂ්පාදන බොහොමයක් මෙම ආයතනය විසින් වෙළඳපොළට නිකුත් කලද ඒවාද ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නැත.

මොවුන් විසින් වෙළඳපොළට නිකුත් කරන Rejucalcium නැමති පෝෂණ අතිරේකය ගර්භනී මව්වරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය වෙනුවෙන් නිෂ්පාදනය කර ඇතත්, මෙවැනි ඖෂධ ජාවාරම් කරුවන් විසින් ලියාපදිංචියක් නැතිව කරගෙන යන මේ කූඨ ව්‍යාපාර හරහා යම්කිසි ගැටළුවක් ඇතිවුවහොත්, ඇතිවුණාට පසුව පියවර ගෙන කිසිඳු පලක් නැත. මන්ද මෙම නිෂ්පාදන පාවිච්චි කරන ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහි ඒ නිෂ්පාදනවල තත්ත්වය සෘජුවම බලපාන නිසාය. ඖෂධ මාෆියාවකටත් වඩා එහා ගිය, ඖෂධ අධිකාරියේ තත්ත්ව සහතිකය නොලැබූ තත්වයක් මත, විශ්වාසය නැතිවීම සහ අනතුරුදායක බව වැඩි වීම හේතුවෙන් බිල්ලට යන්නේ අපගේ ශ්‍රී ලාංකේය මව්වරුන් ය.

මෙම නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ වෙනත් ආයතන ඇති නමුත් මේ කූඨ වෙළෙන්දන් ඖෂධ වෙළඳපොල ආක්‍රමණය කරගෙන සිටින නිසා, ඔවුන් විසින් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කල Rejucalcium නිෂ්පාදනය මිලදී ගැනීමට ඖෂධ වෙළඳපොළ මැලිවන්නේය. මන්ද ඉතාම අඩු මිලකට පෙර සඳහන් කල කූඨ ව්‍යාපාරිකයා විසින් එම නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කරන නිසා ඖෂධ වෙළඳපොළේ වෙළෙඳුන්ට ඉතා වැඩි ලාභයක් තබාගෙන විකිණීමට හැකි නිසාත් ය.

එම ලියාපදිංචි නොකළ නිෂ්පාදන රට පුරා බෙදා හරින්නේ මීගමුව ප්‍රදේශයේ KFD Distributors නමැති ආයතනයක් විසින් බවත් අපට වාර්තා විය. ඔවුනුත් දැන හෝ නොදැන මෙම ජාවාරමට ව්‍යාප්ත කිරීම සඳහා දායකත්වය සපයන පිරිසකි.

විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ සීමාස්ත නිෂ්පාදනයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග පටිපාටියක් ඇත, එය සරලව පහතින් සඳහන් කර ඇත.

සීමාස්ත නිෂ්පාදනයක් ලියාපදිංචි කිරීමේදී 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ,

එම ඖෂධ නිපදවීම සඳහා ලබාගන්නා අමුද්‍රව්‍ය ඉතා උසස් ගුණයකින් යුත් අමුද්‍රව්‍ය වේ, ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරිය විසින්ම ලැයිස්තු ගතකරන ලද ප්‍රමිති සහතිකයන්, එම අමුද්‍රව්‍ය සපයන ආයතන මගින් ඖෂධ නියාමන අධිකාරියට ලබාදිය යුතුය.

එහිදී එම අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහෙන්ද, මොන රටෙන්ද, ඒවාට ඇති තත්ත්ව සහතිකයන් මොනවාද, එම තත්ත්ව සහතික පිළිගත හැකි මට්ටමක තිබෙනවාද යන්නත් සලකා බලයි. එම තත්ත්ව සහතිකයන් සපයන්නේ එම අමුද්‍රව්‍ය නිෂ්පාදන ආයතන විසින් ය.

ඉන්පසු අදියර වන්නේ, ඖෂධ නියාමන අධිකාරිය එම සීමාස්ත නිෂ්පාදනයේ සාම්පල් ඔවුන් වෙත ලබාගන්නා අතර, එම සාම්පල NMQL හෙවත්, ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය වෙත යොමුකරනු ලබයි. එහිදී එම සාම්පල තත්ත්ව පරීක්ෂණවලට භාජනය කරනු ලබයි.

එමෙන්ම ලංකාවේ අලෙවි කිරීමට අපේක්ෂා කරන්නාවූ එම සීමාස්ත නිෂ්පාදනයේ වෙළඳ ලකුණ සහිත ඇසුරුමත් ඖෂධ නියාමන අධිකාරිය වෙත ලබාදිය යුතුය.

ඉන් අනතුරුව නිෂ්පාදකයා, ආනයනය කරන්නා, බෙදාහරින්නා ඇතුළු සියලුම තොරතුරු අධ්‍යයනය කළායින් පසුව ඖෂධ නියාමන අධිකාරිය විසින් සීමස්ත නිෂ්පාදන සඳහා පූර්ණ අනුමැතිය ලබාදෙනු ලබයි.

නමුත් Cosmo Care Pharmaceuticals ආයතනය විසින් වෙළඳපොළට නිකුත් කරන Rejucalcium සහ අනෙකුත් නිෂ්පාදන ඉහත සඳහන් කළ පරිදි ලියාපදිංචියක් සිදුකර නොමැති නිසා 2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත යටතේ, මොවුන්ව අධිකරණය විසින් වරදකරු කරනු ලැබුවහොත්, රුපියල් දස ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනකට නොවදි කාලයක් සඳහා දෙයාකාරයෙක් එක ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හා බන්ධනාගාරගත කිරීම යන දෙකටම ඔවුන් යටත් විය යුතුය.

එම පනත පිළිබඳව වැඩිදුර දැනුවත් වීම සඳහා ඔබට මෙම link එක ඔස්සේ හැකියාව ඇත.

එම නිසා මෙම ජාවාරම්වලට වගකිවයුතු ආයතන මේ සඳහා මැදිහත්වී ශ්‍රී ලංකාවතුල ඖෂධ ජාවාරමට තිත තැබීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය. මාධ්‍ය ජාලයක් ලෙස අපට කළ හැක්කේ මෙවැනි ජාවාරම් පිළිබඳව අනාවරණය කිරීම පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here