“විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න” විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

0
32

අත්‍යවශ්‍ය නොවන විදුලි උපකරණ පෙරවරු අටේ සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ ක්‍රියාවිරහිත කර තබන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පෙරේදා දිනයේදී කෙරවලපිටිය බලාගාරයේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් දිවයින පුරා පැය කිහිපයක් විදුලිය විසන්ධි වුණා.

එමෙන්ම නොරොච්චෝලේ බලාගාරය තවදුරටත් පවතින්නේ අක්‍රිය තත්ත්වයේයි. මේ හේතුවෙන් ඊයේ සිට දින හතරක් දිනකට පැය බැගින් දිවයින පුරා විදුලිය විසන්ධි කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ(18) නිවේදනය කළා.

ඒ අනුව පස්වරු හයේ සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ කලාප හතරක් යටතේ මෙලෙස පැයක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවනවා.

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම පුපුරා ගොස් ඇති අතර, එය යථා තත්වයට පත් කිරීමට බොහෝ කාලයක් ගතවනු ඇති බවයි එම බලාගාර ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් අක්‍රිය වූ සෙසු ජනන යන්ත්‍ර දෙක ක්‍රියාත්මක කළ හැකි බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියා.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර මඟින් නිපදවන විදුලිය ජාතික විදුලි බල පද්ධතියට එක් කර නොගැනීම නිසා මෙගාවොට් 810ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට අහිමි වනවා.

කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළේ නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ විදුලි ජනන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බැවින් විදුලි කප්පාදුව දින කිහිපයකට පමණක් සිදුවන බවයි.

පවතින තත්ත්වය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here