ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වරප්‍රසාද කමිටුවට කැඳවීම – එංගලන්තයේ නීතිඥ සංගමයෙන් ලංකාව ගැන නිවේදනයක් !

0
34

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවන්ගේ ක්‍රියා කලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකදී ප්‍රශ්න කිරීමට අවසර ලබා දීම අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කිරීමක් බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව සිය විමර්ශනය අවසන් කරන තුරු ඡන්ද විමසීමට අදාළ කරුණු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු නොකරන ලෙස සියලු බලධාරීන්ට උපදෙස් දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිට ඇති බවත් එළඹෙන 22 වැනිදා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ අතුරු නියෝගයේ පිටපතක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු බලධාරීන් අධිකරණ රෙජිස්ට්‍රාර් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් ප්‍රශ්න කිරීම සුදුසුදැයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු බලධාරීන් වඩාත් ප්‍රවේශමෙන් නැවත වරක් සලකා බලනු ඇතැයි බලාපරොත්තු වන බව එංගලන්තයේ සහ වේල්සයේ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ නික් වයිනීල් ප්‍රකාශ කර ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවීමට පාර්ශ්ව දිරිමත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා රජය ඉතාමත් ප්‍රවේශමෙන් නැවත වරක් සළකා බලනු ඇතැයිද බලාපරොත්තු වන බව නීතිඥ නික් වයිනීල් පෙන්වා දී ඇත.

අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය සහ අනිවාර්ය කරුණක් බවත් ආණ්ඩුව අධිකරණ නියෝග පිළිපැදීමද නීතියේ ආධිපත්‍ය සඳහා අනිවාර්ය කරුණක් බවත් නීතිඥ නික් වයිනීල් සඳහන් කර ඇත.

ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගැනීමට තීරණය කර ඇති ක්‍රියාමාර්ගය අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලුවට ලක් කරන බව ප්‍රකාශ කර ඇතැයි නීතිඥ නික් වයිනීල් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here