සුමුදු තෙලිතුඩක වරුණ..

0
249

පෙරදිග කලා විචාරකයන්ට අනුව නිර්මාණකරුවෙකු සතු මූලිකාංග 03 කි. ඒ සාංසාරික ව රැ⁣ගෙන එන වාසනා ගුණය හෙවත් ප්‍රතිභාව, අවට ලෝකයෙන් ලැබගන්නා දැනුම සහ ඤාණය හෙවත් ව්‍යුත්පත්ති ගුණය සහ නිරන්තර අදාල කටයුත්තේ යෙදීම හෙවත් සතතාභ්‍යාසයයි. එවන් කරුණු සපුරා ලූ නිර්මාණ ශිල්පියා සැබවින් ම සමාජය පිනවමින් ඊට ප්‍රාණය සපයන කුසලතාපූර්ණ පුද්ගලයෙකි.

දේශීය සිතුවම් කලාව වූ කලී වසර දහස් ගණනක අතීතයකට හිමිකම් කියන්නකි. සීගිරිය, දඹුලු ලෙන, ඇම්බැක්කේ දේවාලය චිර ප්‍රසිද්ධ වී ඇත්තේ අපේ ශිල්පීන්⁣ගේ නිසග හැකියාව නිසාවෙනි.

ඒ ශ්‍රේෂ්ඨ සිතුවම් කලාව අතපොත් තබා ඉපැරණි ශිල්ප ක්‍රම සහ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ ඇසුරෙන් නූතන සිතුවම් කලාවක නව මගක් සොයා යන වත්මන් සිත්තර පරපුරේ නියෝජනයක් අපි හඳුනාගනිමු.

ඔහු නමින් සුමුදු කරුණාරත්න ය. දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි සිසුවෙකු වන ඔහු අපොස උසස්පෙළ දක්වා එම පාසලෙන් ශිල්ප හැදෑරී ය. කුඩා කල පටන් චිත්‍ර විෂයයට උපන් හපන්කම් පෑ ඔහුගේ දක්ෂතා පාසලේ දී හඳුනාගත්තේ සංජීවි මංජරී ප්‍රනාන්දු ගුරු මහත්මියයි. පාසලේ 06 වැනි වස⁣රේ සිට චිත්‍ර කලාවේ මංපෙත් හඳුනාගෙන එමග යාම⁣ට ඇය ඔහුට අත දුන්නා ය. එවක දිවුලපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිධුරය ඉසිලූ සෑම් සමරවීර මහතා ද ඇය මෙන් ම ඔහුගේ අනාගතයට සවිමත් පාදමක් තැනීමට ආශිර්වාද කරමින් මග පෙන්වී ය.

පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා සුමුදු තෝරාගත්තේ සිය ප්‍රියතම ලලිත කලාවයි. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත, සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් යටතේ පාලනය වන, පස්යාලේ පිහිටි කෞතුක වස්තු අනුරූ නිකේතනයට බැඳුනු ඔහු පුරා 04 වසරක් එහි අධ්‍යාපනය හැදෑරී ය. එය චිත්‍ර, මූර්ති සහ බිතු සිතුවම් පිටපත් කිරීම පිළිබඳ පූර්ණකාලීන පාඨමාලාවකි.
එහි දී එවක චිත්‍ර හා මූර්ති අධ්‍යයනාංශයේ ප්‍රධානී සෝමරත්න, ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරත ලියනගේ, එහි කථිකාචාර්ය නිෂාද් සාලිංග ගුණසේකර, කෞතුක වස්තු අනුරූ නිකේතනයේ අධ්‍යක්ෂ සිරි කුමාරසිංහ වැනි ප්‍රවීණයින් යටතේ න්‍යායායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාගැනීමට ඔහු සමත් විය.
පාඨමාලාව අවසානයේ වසර 10 ක් පමණ සිය ආචාර්යවරුන් සමග විවිධ පර්යේෂණ සහ ව්‍යාපෘති සඳහා දායකවීමට ඔහුට අවස්ථාව සැලසිනි.

Textile design නැතහොත් පේෂකර්ම මෝස්තර පිළිබඳ ඉතිහාසය හැදෑරීම, පෙතිකඩ චිත්‍ර, සෝමන ඇතුළු ඉපැරණි ධජ පතාක නිර්මාණය සහ මුද්‍රණය කෙසේ සිදු කළේ ද යන්න විමසීම, දේශීය මුද්‍රණ ක්‍රම, දේශීය වර්ණ නිර්මාණය සහ සංයෝජනය පිළිබඳ සාලිංග ගුණසේකර මහතා සමග ගම් නියම්ගම් සිසාරා ඇවිද යමින් තොරතුරු එක් රැස් කළ ඔහු, දේශීය අත්යන්ත්‍ර රෙදි සඳහා නූල් වර්ග සැකසූ අන්දම සහ ඊට යොදා ගත් කෙඳි වර්ග, ඒ සඳහා වන අමුද්‍රව්‍ය, රෙදි වර්ග සකස් කළ අන්දම, අදාල ක්‍රමවේද, මුද්‍රණ උපකරණ පිළිබඳ ගැඹුරින් පර්යේෂණ සිදු කිරීමට දායක විය. පසුකාලීන ව දේශීය අත්යන්ත්‍ර රෙදි ජනප්‍රිය වී ජනගත වීමට මූලික අඩිතාලම වූයේ එම පර්යේෂණ සහ සොයා බැලීම් ය.

කෑගල්ල, යාපහුව සහ දකුණු පළාතේ බොහෝ පළාත්වල සැරිසරමින් සිදු කළ පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට දායක වූ සුමුදු කරුණාරත්න තමා දායක වූ විශිෂ්ටතම ව්‍යාපෘතියක් ලෙස සිහි කරන්නේ මාවනැල්ල, උඩතුත්තිරිපිටියේ පිහිටි ‘ධනගිරිගල’ ලෙන් විහාරයේ සිදු කළ පර්යේෂණයයි. දේශීය සිතුවම් කලාවට අනුව දඹුල්ල ලෙන් විහාරය ඊට ම ආවේණික භූමි දර්ශනයක් සහිත ලෙන් විහාරය ලෙස ප්‍රසිද්ධියට පත් වුවත්, දඹුලු විහාරය⁣ට නොදෙවැනි, තුරුලතා සහිත, ඊට ම ආවේණික භූමි දර්ශනයක් සහිත විහාර පරිශ්‍රයක් ලෙස ඔහු ධනගිරිගල ලෙන් විහාරය හඳුන්වා දේ. ඓතිහාසික වටිනාකමින් ඉතා ඉහළ අඩි 08 x 10 ප්‍රමාණයේ අදාල භූමි දර්ශන සිතුවම තමා සමග 03 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පුරා මාස 03 ක කාලයක් පිටපත් කළ බව ඔහු පවසයි. ඒ විහාරස්ථානවල නැවතී, මැසි මදුරු උවදුරු මැද නේක දුක්ඛ දෝමනස්සයන් දරා ගනිමිනි.

භූමි දර්ශනයකට අයත් සියලු අංගයන්⁣ගෙන් සමන්විත එම සිතුවම වෙනත් සියලු විහාරවල සිතුවම් අභිබවා විශේෂත්වයක් දරන බව ඔහු පෙන්වා දේ. මහනුවර යුගයට අයත් ලෙන් විහාරයක් වන ධනගිරිගල, නා ගසක් යැයි හඳුනාගත හැකි ලක්ෂණ ඉදිරිපත් කර ඇති තවත් සිතුවමකි. අඩි 04 ක් උසැති එම චිත්‍රයේ ඇසට ප්‍රියමනාප නොවන පරිද්දෙන් නැතහොත් බැලු බැල්මට නොගැලපෙන පරිද්දෙන් විශාල නා මලක් සිතුවම් කර තිබේ. එහි සමානුපාතික ලක්ෂණ ගිලිහී ඇතත්, නව ලක්ෂණ බිහි වී ඇති බව සුමුදු කියයි. එම විශේෂිත සම්පිණ්ඩනයෙන් අපූර්ව වටිනාකමක් මතු වී ඇති බව ඔහු පවසයි. චිත්‍ර කලාවට අනුව තාත්ත්වික සහ නිර්මාණාත්මක අතින් එය ඉතා උසස් ගණයේ නිර්මාණයකි.

වයස අවුරුදු 19 සිට වර්තමානය දක්වා මෙවන් ඵෙතිහාසික නිර්මාණ සහ ඒවායේ තාක්ෂණය පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කරන සුමුදු කරුණාරත්න, නිර්මාණ පරිවර්තනය කිරීමේ කලාව පිළිබඳ 10 වසරක අධ්‍යයනයක නිරත වූවෙකි. සීගිරිය, අනුරාධපුර, පොළොන්නරුව ගල් විහාරය ඇතුළු අතිදුෂ්කර ප්‍රදේශවල දහ දුක් විඳිමින් සිදු කළ සොයාබැලීම් සහ පර්යේෂණ පිළිබඳ ඔහු සිනාමුසු ව සිහිපත් කරයි.
සිය ආචාර්යවරුන් සමග යාපහුව රජ මහා විහාරයේ බිතු සිතුවම් පිටපත් කිරීමත්, එම පරිශ්‍රයේ ම එහි අනුරුවක් නිර්මාණයත් පිළිබඳ ඔහුට ඇත්තේ මහත් තෘප්තියකි.

අතීතයේ විසූ විශිෂ්ට දේශීය චිත්‍ර ශිල්පියා ඉතා කුඩා වපසරියක බොහෝ තොරතුරු ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස අඟල් 08 ක් පළල තීරුවක් තුළ පෙරහරක සිතුවමක් නිමවන ඒ බුහුටි සිත්තරා එවන් සීමිත ඉඩක පෙරහ⁣රේ ගමන් ගන්නා ඇතාගේ දළ යුගල බහා ලූ කොපුවේ වන සියුම් කැටයම් ද චිත්‍රණය කර තිබේ. දෙගල්දොරුව විහාරය ආශ්‍රිත ව අදාල සියුම් සිතුවම් ක්‍රමයේ තාක්ෂණය සහ ශිල්ප ක්‍රම පිළිබඳ ඔහු creative modern art (නිර්මාණශීලී නූතන චිත්‍ර කලාව) ව්‍යාපෘතියක් සිදු ක⁣රමින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තේ ය.

දේශීය කර්මාන්ත වන පේෂකර්මය, පිත්තල, තඹ, ලෝකඩ ඇතුළු ලෝහ කර්මාන්තය, ලී කැටයම්, වෙස් මුහුණු, පැදුරු, වට්ටි පෙට්ටි ඇතුළු හස්ත කර්මාන්ත සියල්ලට ම ආවේණික තාක්ෂණයක් තිබේ. එම තාක්ෂණික ක්‍රමවේද සම්ප්‍රදායට හානියක් නොවන පරිද්දෙන්, නව යුගයට සරිලන පරිද්දෙන් ගැලපීම පිළිබඳ ඔහු අධ්‍යයනය කළේ දැඩි ඕනෑකමිනි. එහෙත් ඔහු වඩා උනන්දුවක් දක්වා ඇත්තේ පේෂකර්මය සම්බන්ධ පර්යේෂණ සම්බන්ධයෙනි.

වර්තමානයේ පුද්ගලික අංශයේ ඇඟළුම් ආයතනයක නිෂ්පාදන සංවර්ධන නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කරන ඔහු කාලීන සිතුවම් කලාවක නියැළෙමින් තවත් අත්හදාබැලීම් සිදු කරයි. මේ වනවිට සැබෑ සිතුවමක මිල අධික වීමත්, වර්තමාන ජන සමාජයේ පවතින ආර්ථික අර්බුදයත්, මාර්ගගත ක්‍රමයට බොහෝ කටයුතු පරිවර්තනය වී තිබීමත් මත ‘ඩිජිටල් චිත්‍ර කලාව’ පෙරට පැමිණ ඇති බව ඔහු පවසයි. විශේෂයෙන් කොරෝනා ව්‍යසන සමයෙන් පසු එම තත්ත්වය වඩා ප්‍රබල වී ඇත. අඩු මිලට කල් පවත්නා ත්‍යාගයක් ලබා දිය හැකි පරිද්දෙන් ඉතා ජනප්‍රිය වී ඇති ‘ඩිජිටල් ආට්’ කලාව තමා සිය මිත්‍ර නුවන් තරංග වික්‍රමගේ සමග පෙරට ගෙන ආ බව හෙතෙම පෙන්වා දේ.

දුරු රටක වෙසෙන හිත මිතුරෙකුට වුව කල් පවත්නා තිළිණයක් ලබා දිය හැකි මෙම ක්‍රමය අද වනවිට කුඩා සංස්කෘතියක් බවට පත් ව තිබේ. මීට වසර 18 කට පමණ පෙර සුමුදු මේ ක්‍රමය පිළිබඳ පර්යේෂණ ආරම්භ කළ ද එහි උපයෝගීතාව පැන නැගුනේ කොරෝනා සමයත් සමගිනි. දැනට ධාරා දෙකකින් ඔවුහු එම ඩිජිටල් චිත්‍ර කලාව පෙරට ⁣ගෙන යති.

දැඩි ආතතියකින් පෙළෙන ජනතාවට සහනදායී ක්‍රමයක් ලෙස ‘මණ්ඩලා’ නමැති සිතුවම් වර්ණ ගැන්වීමේ ක්‍රමවේදයක් ජනප්‍රිය ව පවතී. ආතතියට සහනය වන භාවනා ක්‍රම හෙවත් සිතේ ඒකාග්‍රතාව වෙනුවෙන් මධ්‍ය ලක්ෂ්‍යයක සිට විසිරී යන තරංගාකාර වෘත්ත ආකෘතියකින් වන සිතුවමක් වර්ණ ගන්වා ගොඩ නැංවීම එහි දී සිදු කෙරේ. එය මේ වනවිට ලෝකයේ විශාල ඉල්ලුමක් සහිත, උසස් මට්ටමකින් පවත්වාගෙන යන සිතුවම් ප්‍රභේදයකි.

එසේ ම වර්ණවලින් මොළයේ සෛලවලට බලපෑමක් සිදු කෙරෙන ආකාරය, සෛල උද්දීපනය කෙරෙන අන්දම Art therapy ක්‍රමවේදය මගින් සිදු කෙරේ. මීට වසර 2500 කටත් ඉහත අපේ දේශීය සිතුවම් ශිල්පියා එම කටයුත්ත එසේ ම සිදු කළ ද එහි වූ තාක්ෂණය පිළිබඳ විද්‍යාත්මක කියවීමක් එකල නොවී ය. එබැවින් අදාල විධික්‍රමය ගැලපීම සිය වගකීම බව පවසන සුමුදු කරුණාරත්න නම් මේ අපූර්ව නිර්මාණ ශිල්පියා සම්ප්‍රදායික ච්ත්‍ර ක්‍රමය ගලපමින් තමා එය සිදු කරමින් සිටින බව අධිෂ්ඨානශීලී ව පවසයි.

අපි ඔහුගේ ඒ අරමුණට දිරි, සවි සමග සුබ පතමු!

 

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here