“ගණිකා වෘත්තියෙන් ජීවත් වන්නේ නම් නඩු පැවරිය නොහැකියි” – කොටුව මහෙස්ත්‍රාත්ගෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්

0
23

ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය තුළ වරදක් නොවන බවට තීරණය කරමින්, පොලිසිය මඟින් පවරා තිබූ නඩුවකින් තායිලන්ත ජාතික කාන්තාවක්, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක විසින් පසුගියදා(13) මුදාහැර තිබෙනවා.

යම් පුද්ගලයකු ව්‍යාපාරයක් ලෙස කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවා මුදල් උපයන්නේ නම් පමණක් ගණිකා වෘත්තියේ නිරතවීම සම්බන්ධයෙන් චෝදනා ගොනු කළ හැකි නමුත් එසේ නොවී මුළුමනින්ම හෝ අමතර වශයෙන් ගණිකා වෘත්තියෙන් තම ජීවිකාව ගෙනයන්නේ නම් ඒ අයට ශ්‍රී ලංකා නීති ක්‍රමය අනුව නඩුවක් පැවැරිය නොහැකි බවද කොටුව මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියා.

ඒ සම්බන්ධයෙන් පැරැණි නඩු තීන්දු දෙකක්ද මහෙස්ත්‍රාත්වරයා උදාහරණ ලෙස ගෙනහැර දැක්වූ අතර ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පමණක් නඩු පැවැරීමට හැකියාවක් තිබෙන බවද ප්‍රකාශ කළා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් තුළ සේවයේ නිරත වී යැයි කියන කාන්තාව ඇතුළු කාන්තාවන් පිරිසක් කොල්ලුපිටිය පොලිසිය මඟින් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත 2019-10-04 වැනි දින සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පසුගියදා(13) පවත්වනු ලැබුවේ ඒ පිළිබඳ නඩු විභාගයයි.

එලෙස මුදා හරිනු ලැබුවේ තායිලන්ත ජාතික කාන්තාවක් වන අතර ගණිකා නිවාසය කළමනාකරණය කළා යැයි පවසමින් ඉදිරිපත් කර තිබූ තායිලන්ත ජාතික කාන්තාව සම්බන්ධ නඩු විභාගය ජුනි මස 04 වැනිදා යළි පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here