රනිල්, මහින්ද එකට වැඩ

0
24

දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයෙන් මහින්ද පරාදය. පරාද වෙච්චි ගමන් පක්ෂය දෙකට කැඩුණේය. මහින්ද ළඟින්ම හිටපු කණ්ඩායමක් මෛත්‍රී ළගට ගියෝය. මහින්ද හිතපු නැති අය පවා මහින්දව අතහැර ගියෝය. ගියා විතරක් නොව මෛත්‍රීගෙන් ඇමතිකම් පවා ගත්තේය. ඊට පස්සේ දිගට හරහට මහින්දව විවේචනය කළේය. එස්.බී. කියන්නේ එහෙම කරපු ප්‍රසිද්ධ කෙනෙක්ය. එදා මහින්දත් එක්ක ඉන්න කොට සිරිසේනට කියපු කතා අහගෙන ඉන්නත් අමාරුය. ඒත් කිසි හිරිකිතයක් නැතිව මෛත්‍රී ළඟට ගියේය. මෛත්‍රී ළඟ ඉඳගෙන ඒ කටින්ම මහින්දට, බැසිල්ට ප්‍රසිද්ධියේම බැණවැදුණේය. දයාසිරි මෛත්‍රීට කිවේ “හිටං හුටං” කියාය. එහෙම කියපු දයාසිරි දෙකට නැමිලා වැඳවැටිලා මෛත්‍රීගෙන් ඇමතිකමක් ගත්තේය. මහින්ද පැරදිලා ටික කාලයකින්ම පක්ෂයේ බලය සිරිසේනට දුන්නේය. අන්තිමට ශ්‍රීලනිපය දෙකට කැඩිලා කණ්ඩායම් දෙකක් බවට පත් වුණේය. ඒ වෙනස් වීම අදටත් දිග්ගැසෙමින් යන්නේය.

මේ දවස්වල දිගින් දිගටම පෙන්වන්නේ දෙගොල්ල දෙපැත්තට කියාගන්නා ආඩපාලිය. ජනාධිපතිවරණයට කලින් ද ඔය ආඩපාලි තිබුණේය. අන්තිමට දෙගොල්ලෝ අවබෝධතා ගිවිසුමක් ගහගත්තෝය. ගිවිසුම අත්සන් කළෙත් කේවල් කිරීම් ගොඩක් තිබියදීය. රාජපක්ෂලාගේ අලුත් කොල්ලො ටික පවා කේවල් කරන්න ඕනෑ දේවල් ටික කියා ගත්තෝය. ඒ දවස්වල දයාසිරි අශ්ව ටෝක් දෙන තත්ත්වයක සිටියේය. ඒත් අන්තිමට බලු කුක්කෙක් වගේ රාජපක්ෂලාගේ කොන්දේසිවලට එකඟ වුණේය. කයිවාරු ගහපු ඔක්කොම කතා ඉවර වුණේය. ගිවිසුම පැත්තකින් තියලා පැල් බැඳගෙන නන්දසේනව දිනෙව්වේය. දිනුවාට පස්සේ දෙන ඇමති කට්ටක් අරගෙන පැත්තකට වෙලා ඉන්නට සිදු වුණේය. පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකරට හම්බවුණේ රාජ්‍ය ඇමතිකමක්ය. ඒකත් වීරවංශගේ ආමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිකමක්ය. බලු කුක්කෙක් ගාණට වැටුණු දයාසිරි වලිගය දෙපරැන්දේ ගහගෙන හම්බවෙච්චි දේ තියාගෙන සද්ද නැතිව හිටියේය.

දැන් ආපහු මහ ඡන්දය ළඟ එන්නේය. ආපහු සැරයක් මහින්දලාගේ කට්ටියයි, මෛත්‍රීලාගේ කට්ටියයි දෙපැත්තට වී ආඩපාලි කියා ගන්නෝය. ඡන්දේ ඉල්ලන ලකුණ ගැන එක එක කතා කියන්නෝය. සම සභාපතිකම සිරිසේනට දෙන්න පොරොන්දු වුණ කතාවක් කියන්නේය. ගිවිසුම් කොන්දේසි අනුව අපේක්ෂක ලයිස්තුවේ තමන්ට ලැබිය යුතු පංගුව ගැන කියන්නේය. මහින්දලාගේ පැත්තේ ගෝලයොත් අනෙක් පැත්තට එක එක දේවල් කියන්නේය. කොටින්ම කිව්වොත් අයෙත් දෙපැත්තේ රණ්ඩුව පටන්ගෙන අවසන්ය. ඊයේ පෙරේදා අත්සන් කරපු ගිවිසුම අන්තර්ජාලයට ද දැම්මේය. එහි අරමුණ වුණේ මහින්ද රාජපක්ෂලා ගිවිසුමේ කොන්දේසි කඩ කරන බව කීමය. කේවල් කිරීම කොච්චර ද කියනවා නම් බැරිම වුණොත් වෙනම ඉල්ලන බව ද කියන්නේය. මාධ්‍ය මඟින් ප්‍රචාරය කරන්නේ ඉදිරි මැතිවරණයට ශ්‍රීලනිපය වෙනම ඉල්ලන්න සුදානම් බවය. ඒ අතර ශ්‍රීලනිප යේ එක එක්කෙනා වෙන වෙනම කැන්වසින් කරන්නේය. ඒ වැඬේ කරන්නේ බැසිල්ය. ඉතිරි වෙලා ඉන්න කිහිප දෙනාට බලපෑම් කරන්නේ තමන් සමඟ එකතු වන ලෙසය. එළිපිට පක්ෂ දෙක අතර ගැටුම තියෙද්දී ඇතුළේ උත්සාහ කරන්නේ තව තවත් දියකර හරින්නටය. කොහොම වුණත් එදා පරාජයත් එක්ක ඇති වෙච්චි බෙදිල්ල තවමත් දිග්ගැස්සෙමින් පවතී. උඩ ඉන්න අය එහාට මෙහාට පනින කොට ගමේ ඉන්න පාක්ෂිකයෝ කරකියාගන්න දෙයක් නැතිව එහාට මෙහාට තල්ලුවෙමින් යති. මහ පුටුවල බලපොරයෙන් හැමදාමත් පොඩි මිනිස්සු තැළෙන එක ඒ විදිහටම සිදු වන්නේය.

මේ විදිහටම පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් පරාද වුණේය. පරාද වෙච්චි ගමන් දවස් දෙකකින් කණ්ඩායම් දෙක හරියටම දෙකට බෙදුණේය. ගල්කිස්ස හෝටලයේ දී සජිත්ගේ කණ්ඩායම වෙනම එකතු වුණෝය. විපක්ෂ නායකකම තමන්ට ලබා ගන්න ඕන බව තීරණය කළේ ය. එතනදීම අත්සන් සහිත ලේඛනයක් ද හදා ගත්තේය. සජිත්ව විපක්ෂ නායක කරන ලෙසට කථානායක කරු ජයසූරියට ලිපියක් ද දුන්නේය. ඒත් එක්කම අකිල විරාජ් රනිල් විපක්ෂ නායක කරන ලෙස තවත් ලියුමක් දුන්නේය. සති දෙක තුනක් තිස්සේ ඒ ගැටුම පැවතුණේය. දෙගොල්ලො දෙපැත්තට එක එක ජාතියේ කතා කියා ගත්තේය. අන්තිමට විපක්ෂ නායකකම සජිත්ට දෙන්න සිදු වුණේ ය.

ඊට පස්සේ පටන් ගත්තේ පක්ෂ නායකකමට පොරකෑමය. ඒ පොරය බාලගිරි දෝෂයක් වගේ දිග්ගැස්සුණේය. පක්ෂය දෙකට කැඩෙන්න ඔන්න මෙන්න තත්ත්වයට ආවේය. බැරිම තැන රනිල් අමුතුම ජාතියේ ගැටයක් ගැසුවේය. ඡන්දය ඉල්ලන අලුත් සන්ධානයේ නායකකම සජිත්ට දෙන්න එකඟ වුණේ ය. ඒ කියන්නේ යුඑන්පීයේ කිසිවක් වෙනස් කරන්නේ නැතිව අලුත් සන්ධානයේ වගකීම් සජිත්ගේ පිලට දෙන්න එකඟ වුණේ ය. ඒත් ඒ සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන්නේ යූඑන්පීය ය. ඒ නිසාම සන්ධානය ගැන ගන්නා හැම තීරණයක්ම යූඑන්පීයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත කර ගත යුතු විය. පසුගිය දවස්වල සිද්ධ වුණේ ඒ ටිකය. දැන් ප්‍රශ්නය වී ඇත්තේ ඡන්දය ඉල්ලන ලකුණය. රනිල්ගේ පිල කියන්නේ ලකුණ ‘අලියා’ විය යුතු බවය. සජිත්ගේ පිල කියන්නේ ලකුණ ‘හදවත’ විය යුතු බවය. මේ දවස්වල හැමදාම දකින්නේ මේ ගැන කෙරෙන වාද විවාද ය. රංජිත් මද්දුමබණ්ඩාර කියන්නේ රනිල් හදන්නේ නංගි පෙන්වලා අක්කව දෙන්න හදන වැඩක් කරන්න යනවා කියා ය. නංගි කියන්නේ අලුත් සන්ධානයට ය. අක්කා කියන්නේ තමන් මෙච්චර කල් හිටපු යූඑන්පීයට ය. අකිල ඇතුළු කණ්ඩායම කියන්නේ යූඑන්පී ව්‍යස්ථාව අනුව අලියාගෙන් පිට ඉල්ලන්න බෑ කියා ය. අලුත් සන්ධානයටත්, අලුත් ලේකම්ටත් එකඟයි.

ඒත් ලකුණ අනිවාර්යයෙන්ම අලියා විය යුතු බවය. සන්ධානයේ මහ පක්ෂය යූඑන්පීය නිසා යූඑන්පීයෙන් නාමයෝජනා දෙන්නේ කාට ද යන්න තීරණය කරන්නේ තම පක්ෂය බවත් කියන්නේ ය. ඒ කියන්නේ හරකාව කඹයේ ගැට ගහලා දිගේලි කරලා තිබ්බට කණුව තියෙන්නේ යූඑන්පීයේ පාලනය යටතේ බව ය. මේ දවස්වල දෙගොල්ලො ගහගන්නේ මේකටය. සජිත්ගේ පිලට ඕන වෙලා තියෙන්නේ රනිල්ගේ පාලනයෙන් මුළුමනින්ම මිදෙන්නටය. රනිල්ගේ පිලට ඕන වෙලා ඇත්තේ, කඹය දිගේ කොයි තරම් දුරට තණකොළ කන්න ගියත් නාස් ලණුව තමන්ගේ අතේ තියා ගන්නට ය. සජිත්ගේ පිල මැදිහත් වෙලා අලුත් සන්ධානයක් ද හැදුවේය. ‘ජාතික සමගි බලවේගය’

එහි නම ය. දැනටමත් මැතිවරණ කොමිසම මෙය පිළිගෙන අවසන් ය. ඒත් එක්කම යූඑන්පීයේ නීති ලේකම් කොමිසමට ලිපියක් යැව්වේය. මෙහි ඉංග්‍රීසි නාමය යූඑන්පී ලෙසම භාවිතා කළ හැකි බැවින්, එසේ නොකරන ලෙස ඉන් ඉල්ලා ඇත.

පසුගිය සතියේ රනිල් මහින්ද එකතු වෙලා පාර්ලිමේන්තුව කලින් විසුරුවා හරින්න තීරණය කළ බවක් ප්‍රචාරය විය. ඒ ගැන සජිත් පිලේ අය කිව්වේ සන්ධානය ලියාපදිංචි වෙන්න කලින් රනිල්, මහින්දත් එක්ක එකතු වෙලා විසුරුවන්න හදනවා කියාය. ඒකේ අරමුණ අලුත් සන්ධනය හැදෙන එක වැළැක්වීම බවය. මහින්ද පිලේ සමහර අයත් මහින්ද හදන්නේ රනිල්ගේ වුවමනාව ඉටු කරන්න යැයි තැන් තැන්වල කසුකුසු ගෑවේය. ඒ අතර මහින්ද ආණ්ඩුවට සල්ලි නැහැ කියලා අලුතෙන් සල්ලි අනුමත කර දෙන්න යැයි පාර්ලිමේන්තුවට කිවේ ය. රනිල් මේ වැඬේට එකඟ වුණු බවත් ද කියවේ. සජිත්ගේ පිල ඒකට විරුද්ධව තැන් තැන්වල කසුකුසු ගාමින් සිටියි. ඒ කියන්නේ යූඑන්පීය ඇතුළේ රනිල්ගේ පිලට මහින්ද උදවු කරන බවය.

රනිල් – මහින්ද ඩීල් එක අද ඊයෙක පටන් ගත්ත එකක් නොවේය. චන්ද්‍රිකා ජනාධිපති කාලේ ඉඳලාම එන ඩීල් එකක්ය. ඒ දවස්වල ආණ්ඩුව කළේ චන්ද්‍රිකා, මහින්දලාය. මහින්ද ඇතුළේ රහස් ඔක්කොම රනිල්ට කියන බව චන්ද්‍රිකාම කීවාය. චන්ද්‍රිකාට විරුද්ධව මහින්දත් එක්ක තිබුණු ඩීල් එක නිසාම රනිල් විපක්ෂයේ හිටියත් මහින්ද ඔහුට උදවු කළේය. මහින්ද විපක්ෂයට ගියාම රනිල් ද ඒ විදිහටම උදවු කළේ ය. මහින්දගේ පවුලේ කාටවත් නඩු දලා ඇතුළට දාන්නේ නැති බවට රනිල් පොරොන්දු වුණේ ය. කියපු විදිහටම වැඬේ කළේ ය. මේ ජාතියේ උදවු දෙන්නා දෙපැත්තට කර ගත්තේය. අදටත් එසේමය. සිරිකොත පක්ෂ මූලස්ථානයට සජිත් පිල කඩාවැදුණු වෙලාවේ ඒ ඉදිරිපිට පාර හදන්න ගල් ගෙනල්ලා දැම්මේ මහින්දය. ඒකෙන් කාටවත් එතනින් එන්න බැරි කළේ ය. රනිල්ට කිසිදු තනතුරක් නැතිව තියෙද්දීත් ආරක්ෂාවට දෙසීයක් දීලා තියෙන්නේත් මේ පරණ උදව්වලට හිලව්වට ය.

සජිත්ලා අද ‘හදවත’ ලාංඡනය කරගෙන සන්ධාන හැදුවාට ඇත්තටම ඒ අයට හදවත් නැති තරම්ය. ඇත්තේ බලය පිළිබඳ පටු වුවමනාවක් පමණි. බලය තියෙන කොට එකට ඉන්නත් බලය නැති වෙනකොට කැඩෙන්නේත් ඒක ය.

එක්කො මේක කෙළවර වන්නේ පක්ෂය දෙකට කැඩිලා පක්ෂ දෙකක් වෙලා ය. නැත්නම් කෙළවර වෙන්නේ හැමදාම එකිනෙකාට දොස් පවරා ගන්නා අනවරත අඳෝනාවක් එක්කය. හැත්තෑහතේ වකවානුවේ තිබුණු යූඑන්පීය දැන් නැත. දැන් ඇත්තේ දියාරු වෙච්ච පක්ෂයක්ය. සාමාජිකයන්ටත් පක්ෂය එපා වී ඇත්තේ මේ නිසාය. මේකට හේතුව නායකයාම නොවේය. ඒ පක්ෂයට හිමිව තිබූ කාර්යභාරය අවසන් වීමය. එබැවින්, වෙනස් වීමේ මූලික නියාමයට අනුව මෙය වෙනස් විය යුතුය. වෙනස් වීම අලුත් දේක බිහි වීම විය හැකිය. කෙසේ වෙතත්, මේ තත්ත්වය තුළ රට මුහුණ දී ඇති දැවැන්ත සමාජ – ආර්ථික ප්‍රශ්නවලට උත්තර දෙන්න සජිත් ප්‍රේමදාසටවත්, රනිල් වික්‍රමසිංහටවත් හැකියාවක් නැත. ඒ බව නම් පාක්ෂිකයන්ට හොඳින්ම පැහැදිලිය


ජගදාක්ෂි
(ලංකා වෙබ් ඇසුරින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here