එන්නත්කරණයට ඇගයුමක්

0
112

මෙරට ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන, එන්නත් සහ ප්‍රතිශක්තීකරණ පිළිබඳ ගෝලීය සන්ධානයේ (GAVI) විශේෂ පැසසුමට ලක් වේ.

එම සන්ධානයේ (Global alliance of vaccines and immunization -GAVI) මධ්‍යම ආදායම්ලාභී රටවල අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කරන ඇඩ්රියානා ජිමෙන්ස් කුළුන්, මධ්‍යම ආදායම්ලාභී රටවල ජ්‍යෙෂ්ඨ කළමණාකාරිනිය වන සොෆී ලා වින්සෙන්ට් මාර්තු 06 වැනි දා පස්වරුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හමු වූ හ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඔවුහු අමාත්‍යවරයා සමඟ විශේෂ පිළිසඳරකට එක් වූ අතර, එහිදී, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජාතික ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන ඉතා කාර්යක්ෂම, විධිමත් හා ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගෙන යාම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ හ.

2003 වසරේ සිට ශ්‍රී ලංකාවේ ළමුන්හට උපතේ සිට ලබා දෙන එන්නත්කරණ වැඩසටහන සඳහා නොමිලේ එන්නත් ලබාදීමට කටයුතු කරමින්, 2008 වසරේ සිට ශ්‍රී ලංකාවට අදාල එ‍න්නත් සහනදායී මිලකට ලබාදීමට කටයුතු කරන ලද්දේ එම ආයතනයයි.

මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව නිසි අයුරින් පවත්වා ගෙන යාමට සන්ධානය මගින් ලබා දෙන දායකත්වය විශේෂ ඇගයීමකට ලක් කළ අමාත්‍යවරයා ඇවැසි සෑම විටකම ඊට අවශ්‍ය සහාය අපේක්ෂා කරන බව ද කීවේ ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාව අඩු පිරිවැයකින් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන රටක් ලෙස නම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසී ය.

මෙම විශේෂ හමුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග ද එක්ව සිටියා ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here