Air Tattoo සාර්ථක ව..

0
615

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කරන ‘Air Tattoo’ අධ්‍යාපනික  හා තාක්ෂණික ප්‍රදර්ශනය සාර්ථක ව ක්‍රියාත්මක බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

එහි 73 වැනි සංවත්සරයට සමගාමී ව  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ උපදෙස් අනුව  සංවිධාන කළ ප්‍රදර්ශනයේ දෙවැනි දිනය 2024 මාර්තු මස 07 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  විසින්  නිල වශයෙන්  විවෘත කරන ලදී.

එහි පළමු දිනය වු 2024 මාර්තු මස 06 වැනි දා හා 07 වැනි දා විශාල ජන සහභාගිත්වයක් පැවති අතර පාසල්  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ   වැඩි සහභාගිත්වයක් දැකිය හැකි විය.

උතුරු පළාතේ  දරුවන් වෙනුවෙන් ගුවන් යානා තාක්ෂණය පිළිබඳ පැවැත්වෙන පළමු අධ්‍යපනික ප්‍රදර්ශනය මෙය වන අතර උතුරු පළාත තුළ ගුවන් හමුදාව විසින් පවත්වන  පළමු ගුවන් යානා සංදර්ශනය සහ පැරිෂුට් සංදර්ශනය ද  මෙයයි.

ප්‍රදර්ශනයේ දී ගුවන් හමුදාව විසින් ඉදිරිපත් කරන සරඹ සංදර්ශන, ගිනි නිවිමේ නිදර්ශනාත්මක සංදර්ශන, හදිසි මුදවා ගැනීම් පිළිබඳ නිදර්ශනාත්මක සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුළු විශේෂාංග රැසක් ඉදිරිපත් කිරිමට නියමිත අතර සන්ධ්‍යාවේ දී වෙළෙඳ ප්‍රදර්ශනයක් සමග  සංගීත ප්‍රසංග ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කර තිබේ.

මාර්තු මස  10 වැනි දා දක්වා පෙරවරු 10.00 සිට රත්‍රි 10.00 දක්වා මෙම  අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්විමට නියමිත අතර යාපනයේ විශ්වවිද්‍යාල, යාපනයේ ශාඛා පිහිටි  පෞද්ගලික විශ්වවිද්‍යාල, කොතලාවල ආරක්ෂක  විශ්ව විද්‍යාලයේ යාපනය ශාඛාව, යාපනය කාර්මික හා වාණිජ මණ්ඩලයට අයත් ව්‍යාපාරික ආයතන, රජයේ කෘෂිකාර්මික හා තාක්ෂණික ආයතනවල සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි 200කට අධික ප්‍රමාණයකින් ප්‍රදර්ශනය සමන්විතයි.

පාසල් නිල ඇඳුමින් පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මෙම අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමේ අවස්ථාව ද ගුවන් හමුදාව සලසා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here