TRINEX 24 සාර්ථක ව අවසන්!

0
662

‘ත්‍රිකුණාමලය නාවුක අභ්‍යාසය – 2024’ සාර්ථක ව නිම වූ බව ශ්‍රී ලංකා නාවුක හමුදාව නිවේදනය කරයි.

(Trincomalee Naval Exercise – TRINEX 24), 2024 මාර්තු මස 04 වැනි දා සිට 08 වැනි දා දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවුක විධාන මුහුදු තීරය ආශ්‍රිත ව පැවැත්විිිනි.

ශ්‍රී ලංකා නාවුක නෞකා ගජබාහු නෞකාවේ සිට  නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අභ්‍යාසය නිරීක්ෂණ කළේ ය.

ත්‍රිකුණාමලය නාවුක අභ්‍යාසය, වරාය අදියර හා මුහුදු අදියර වශයෙන් පැවැත්වුනු අතර, 2024 මාර්තු මස 04 වන දින පැවති වරාය අදියරෙහි දී, අභ්‍යාසයට අදාල පණිවුඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේද පිළිබඳ අභ්‍යාසයට සහභාගී වන නෞකා හා යාත්‍රාවන්ගේ නාවුක හමුදා සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්යය මණ්ඩල දැනුවත් කිරීම සහ දැනුම හුවමාරු කරගැනීම සිදුකෙරිණි.
2024 මාර්තු මස 05 වැනි දා සිට 08 වැනි දා  දක්වා පැවති මුහුදු අදියර සඳහා ශ්‍රී ලංකා නාවුක නෞකා ගජබාහු, සයුරළ, පරාක්‍රමබාහු, නන්දිමිත්‍ර, සමුදුර, ශක්ති සහ ප්‍රතාප යන නෞකා  සමඟ නාවුක හමුදා හතර වැනි වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ පී 4445, පී 4444, පී 435, පී 436, පී 481, පී 484, පී 464 සහ පී 411 යන වේග ප්‍රහාරක යාත්‍රා මෙන් ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 412, බෙල් 212 සහ එම්අයි 17 යන හෙලිකොප්ටර් යානා ද එක් විය.
එහි දී, නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම (SKBDL), මුහුදේ දී ඉන්ධන හුවමාරුව (VERTREP), ගුවන් ඡායාරූප ගැනීමේ අභ්‍යාස (PHOTOEX), වෙඩි තැබීමේ අභ්‍යාස (SUTFEX/ CRAA), මුහුදේ දී නෞකා වෙත ගොඩවීම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (VBSS), හෙලිකොප්ටර් යානා මඟින් මුහුදේ දී නෞකා වෙත භාණ්ඩ ගොඩබෑම, පරීක්‍ෂා කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස  (HVBSS), සෙවීමේ හා මුදවා ගැනීමේ අභ්‍යාස (SAREX), නෞකා මතට හෙලිකොප්ටර් ගොඩබැස්සවීමේ අභ්‍යාස, තුවාලකරුවන් ප්‍රථමාධාර සඳහා ඉවත් කිරීමේ අභ්‍යාස (CASEVAC), රාත්‍රී කාලයේ නෞකා පෙළ හැඩයන් ඔස්සේ නැංගුරම් ලා තැබීම (Formation Anchoring)  සහ පණිවුඩ හුවමාරු අභ්‍යාස ඇතුළු අභ්‍යාස සිදු කෙරින.
මාර්තු මස 08 වැනි දා පැවති Steam Past අභ්‍යාසයෙන් පසුව ‘ත්‍රිකුණාමලය නාවුක අභ්‍යාසය – 2024’  සාර්ථක ව නිමාවට පත් විය.
එහි නිමාව සනිටුහන් කරමින් ඊට සහභාගී වූ නාවුක හමුදා නෞකා හා යාත්‍රා, බලඝණ, බලකා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සමරු තිළිණ ලබා දීම නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතින් ශ්‍රී ලංකා නාවුක නෞකා ගජබාහු නෞකාවේ දී සිදු කෙරිණි. එම අවස්ථාව සනිටුහන් කරමින් ධජ නිලධාරි නාවුක දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා නාවුක හමුදාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී.
ඉකුත් 2023 වර්ෂයේ පැවති හොඳ ම නෞකාව/ යාත්‍රාව තේරීමේ තරගයෙන් ජයග්‍රහණය කළ නෞකා හා යාත්‍රා වෙත සම්මාන පිරිනැමීම ද නාවුක හමුදාධිපති විසින් සිදු කෙරුණු අතර, එහි දී හොඳම විශාල නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවුක නෞකා විජයබාහු නෞකාව ද, හොඳ ම වේග ප්‍රහාරක මුර නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවුක නෞකා මිහිකත නෞකාව ද, හොඳ ම වේග ප්‍රහාරක යාත්‍රාව ලෙස පී 435 ‍වේග ප්‍රහාරක යාත්‍රාව ද නාවුක හමුදාධිපති අතින් සම්මානයට පාත්‍ර විය.
නාවුක හමුදාධිපතිවරයා  අභ්‍යාසය සාර්ථක ව පැවැත්වීමට කැපවීමෙන් දායක වූ නෞකා, යාත්‍රා, බලඝණ, බලකා වෙත සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත සිය ප්‍රශංසාව පළ කරන ලදී.
මෙවැනි අභ්‍යාස මඟින් සාගර කලාපයේ විවිධ අභියෝග ජයගැනීම උදෙසා වන ‍මෙහෙයුම් හා අනුගමනය කළ යුතු උපාය හා උපක්‍රම පිළිබඳ දැනුවත් වීමටත්, ඒ සඳහා සූදානම් වීම හා විවිධ මෙහෙයුම් පරිසරයන්ට කෙටි කාලයක් තුළ අනුවර්තනය වෙමින් ඒකාබද්ධ බලකායක් ලෙස සාමූහික ව ප්‍රතිචාර දැක්වීමටත්  නාවුක හමුදා නෞකා බලඇණියට හැකියාව ලැබෙනු ඇති පැවසූ නාවුක හමුදාධිපතිවරයා, මෙරට සාගරික වපසරිය තුළ ඒකාබද්ධ ‍මෙහෙයුම් සිදු කිරීමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය වීමටත් සහයෝගීත්වය වැඩිදියුණු වීමටත්  මෙවැනි අභ්‍යාස මඟින් අවස්ථාව උදාවන බව පැවඑසී ය.
මෙම අවස්ථාවට නැගෙනහිර නාවුක විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ‘ත්‍රිකුණාමලය නාවුක අභ්‍යාසය – 2024’ අභ්‍යාසයට එක්වූ නෞකා සහ යාත්‍රාවන්ගේ අණදෙන/ අණභාර නිලධාරීන්, අභ්‍යාසයට එක් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන්, සහ නාවුක හමුදා මුලස්ථානයේ හා නැගෙනහිර නාවුක විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූ හ.

ඡායාරූප සඳහා ලක්දන ෆේස්බුක් පිටුවට පිවිසෙන්න. –
https://www.facebook.com/share/p/jguvdKnzUpuvDnBK/?mibextid=oFDknk
 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here