විල්පත්තු කැපිල්ලේ ඇත්ත කතාව

0
32

ශ්‍රී ලංකාවේ මහා පරිමාණයෙන් පාරිසරික අපරාධ සිදු වුවද වගකිවයුතු පාර්ශ්වවල, ජනමාධ්‍යයේ මෙන්ම මහජනතාවගේ ද අවධානය වැඩි වශයෙන් ඒ සඳහා යොමු නොවේ. ඊට ප්‍රධානම හේතුව පාරිසරික අපරාධ සිදු වන්නේ බහුජන මුහුණවරක් අරගෙන දේශපාලන වටපිටාවක් තුල පිහිටා වීමය. පාරිසරික අපරාධයක් ලෙස ගැනෙන වන සංහාරය විටෙක නීති විරෝධී අර්ථයෙන් සිදුවෙද්දී තවත් විටෙක සිදුවන්නේ නීත්‍යනුකූල රාමුව ඇතුළේය.

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රධාන වශයෙන් ආයතන තුනක් යටතේ පාලනයේ වෙයි. පළමු වැන්න වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. දෙවැන්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි. තුන් වැන්න මධ්‍යම පරිසර අධිකාරියයි. ජාතික පාරිසරික පනත, වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත, ජාතික උරුම වන භූමි පනත සහ තවත් පනත් කිහිපයක් යටතේ වනාන්තර ආරක්ෂා කිරීමට නීති සම්පාදනය වී තිබේ. විටින් විට දේශපාලනිකව මතුවන මාර්තෘකාවක් බවට පත්වී ඇති ‘විල්පත්තු ජාතික උද්‍යානය’ අයත් වන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයටය.

විල්පත්තුව

හෙක්ටයාර 131667.1 ප්‍රමාණයෙක් යුත් විල්පත්තුව ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික ආරක්ෂිත ප්‍රාදේශයක් මෙන්ම ජාතික උද්‍යානයක්ද වෙයි. එය ගැසට් පත්‍රයේ පළ කර ඇත්තේ 1938 පෙබරවාරි මස 25 වැනි දා ය. විල්පත්තු ජාතික උද්‍යානය නම් කර ඇත්තේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ වන අතර ඒ අනුව එහි පාලනය සිදුවන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේය.

විල්පත්තුවේ විශේෂත්වය විල්ලුවලින් සමන්විත වීමය. ප්‍රධාන විල්ලු 10කින් සමන්විත වීම නිසා විල්පත්තු ලෙස හැඳින්වෙන බව ජනවහරේ කියැවේ. කෙසේ වෙතත් විල්පත්තුවේ විල්ලු විශාල ප්‍රමාණයක් දැකගත හැකිය. එය විශේෂ පාරිසරික ලක්ෂණයකි. වැසි සමයේ විල්ලුවලින් රඳවා ගන්නා ජලය නිසා පායන කාලයේ වුවද විල්පත්තුවේ ජෛව විවිධත්වය විනාශ නොවී පවත්වාගෙන යෑමට මහත් පිහිවහලක් ලැබේ. නමුත් සංවර්ධන ව්‍යාපෘතින් නිසා ඇතැම් විල්ලු මේ වන විට විනාශ වී ගොස් තිබෙන බව පරිසරවේදීහු කියති.

ජෛව විවිධත්ව පැත්තෙන් සිංහරාජය මෙන්ම ඉදිරියෙන් සිටින විල්පත්තුව පාරිසරික අතින් ශ්‍රී ලංකාවේ අති විශේෂ ස්ථානයක් හිමි කර ගනී. මිනිසාගේ පැවැත්මට විල්පත්තුවෙන් විශාල දායකත්වයක් ලැබෙයි. ඊට හේතුව දේශගුණික විපර්යාස අවම කිරීමට විල්පත්තුව ලොකු පිටිවහලක් ලබා දෙන බැවිනි. ‘විල්පත්තුව’ පසුගිය කාල වකවානුවේ විටින් විට සමාජ මාධ්‍යවල කතා බහ කෙරෙන මාතෘකාවක් විය. වරෙක නැවත පදිංචිය සඳහා විල්පත්තුවේ කැලෑ කපන බවට මහා රැල්ලක් ගිය අතර දේශපාලන මුහුණුවරක් ගත් ඒ රැල්ල බිඳී යන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. දැන් විල්පත්තුව යලිත් කරලියට පැමිණ තිබේ. ඒ විල්පත්තු ජාතික උද්‍යානයේ ප්‍රේරණ කලාපයේ කෝමාරිකා වගාවක් සඳහා භූමිය සකසන බවටය.

කලින් විල්ලපත්තුව ආරක්ෂා කිරීමට සමාජ මාධ්‍ය ඔස්සේ කතා පහ කළ උදවිය වැඩි දෙනෙක් මෙම සිද්ධියේදී මුණිවත රැකගෙන සිටියහ. මෙම වගාව සිදුවන්නේ ප්‍රෙරණ කලාපයෙන් පිට බවට ඇතැමුන් ප්‍රතිඋත්තර බඳිද්දී තවත් පිරිසක් ප්‍රතිඋත්තර බැන්දේ විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් පිටත භූමිය අයත් වන්නේ ගොවියන්ට සහ ප්‍රාදේශීය ලේකම්ට බවයි. ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය මෙම ව්‍යාපෘතියට ලැබී ඇති නිසා මෙම ව්‍යාපෘතිය නීතිය අනුව සිදුවන්නක් බව ඔවුන්ගේ අදහසයි.

ප්‍රෙරණ කලාප

ප්‍රෙරණ කලාපයක් යනු නිශ්චිත සංරක්ෂිත ප්‍රාදේශයක ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද ප්‍රදේශයකි. එවැනි ප්‍රාදේශයක සම්පත් භාවිතාව නීත්‍යනුකූලව සහ සාම්ප්‍රදායිකව සීමා කළ හැකිය. ඇතැම් ප්‍රෙරණ කලාප නීත්‍යනුකූලව ගැසට් කළ හැකි අතර ඇතැම් කලාප ගැසට් කර නැත. ගැසට් කළත්, නොකළත් යම් යම් නීති අනුව එම කලාපයට නීත්‍යනුකූල පසුබිමක් නිර්මාණය කෙරේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ප්‍රේරණ කලාපයට නීතිමය වටපිටාවක් හිමිවන්නේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේය. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ නව වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි.

“9අ.(01) 3අ වගන්තියේ විධි විධානවලට යටත්ව, දෙවැනි වගන්තිය යටතේ වූ නියමයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද යම් ජාතික රක්ෂිත භූමියක මායිමේ සිට සැතපුම් එකක දුරක් ඇතුළත පෞද්ගලික හෝ රජයේ හෝ යම් තැනැත්තකු හෝ සංවිධානයක් විසින් අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව ලිඛිත අනුමැතිය නොමැතිව කවර ආකාරයක හෝ යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සිදු නොකළ යුතුය. ’’

ඒ අනුව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මායිමේ සිට සැතපුමක් එසේ නැතිනම් කිලෝමීටර 1.6ක ප්‍රමාණයක් දුරට යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතුය. අනුමැතිය ලබා දීමට පෙර පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉදරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නියම කළ යුතු බව පනතේ 9අ (2) වගන්තියේ සඳහන් වෙයි. එම වගන්තිය මෙසේය.

‘9අ (2) 1 වන උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති ප‍්‍රදේශයේ සංවර්ධන ක‍්‍රියාකාරකමක් හෝ වෙළෙඳාමක් හෝ ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා වූ අවසර පත‍්‍රයක් සඳහා වූ ඉල්ලීමක් ලැබුණු විට, අවස්ථාවෝචිත පරිදි, එම ක‍්‍රියාකාරකමට හෝ වෙළෙඳාමට හෝ ව්‍යාපාරයට අදාළ වන්නා වූ ද, මූලික පාරිසරික සමීක්ෂණ වාර්තාවක් හෝ පාරිසරික බලපෑම් පිළිබඳ තක්සේරු වාර්තාවක් ඉදිරිපත කළ යතු බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉල්ලූම්කරුට නියම කළ යුතු ය. එම නියමයට අනුකූලව ක‍්‍රියා කිරීම ඉල්ලූම්කරුගේ වගකීම වන්නේ ය. සෑම මූලික පාරිසරික සමීක්ෂණ වාර්තාවක හො පාරිසරික බලපෑම් පළිබිඳ තක්සේරු වාර්තාවක නියම කරනු ලබන තොරතුරු ඇතුළත් විය යුතු ය.’

එලෙස ලැබෙන වාර්තාව මහජනතාවගේ අදහස් සඳහා නිශ්චිත කාලයක් විවෘතව තැබිය යුතු බව ද පනතේ සඳහන් වේ. ප්‍රේරණ කලාපයක් තුල සිදු කෙරන ක්‍රියාකාරකම් සඳහා මෙවැනි දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතු බවට පනතින් නිර්ණය කොට ඇත්තේ අදාල ජාතික රක්ෂිත වනාන්තරය මෙන්ම ප්‍රේරණ කලාපයද අතිෂයින්ම වැදගත්වන නිසාය. වනාන්තරයේ ආරක්ෂාව රඳා පවතින්නේ ප්‍රේරණ කලාපයේ ආරක්ෂාව මත වන අතර වන සතුන්ගේ ඇතැම් චර්යාද මෙම ප්‍රේරණ කලාපය තුල දැක ගත හැකිය.

කෝමාරිකා වගාව

ආන්දෝලනයට තුඩු දී ඇති කෝමරිකා වගාව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ නම වියළි කලාපීය ග්‍රාමීය අර්ථික සංවර්ධන කෝමාරිකා ව්‍යාපෘතියයි. එය ක්‍රියාත්මක කරන අවුරා ලංකා හර්බල්ස් (ප්‍රයිවට්) ලිමිටට් නම් ආයතන 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇත්තේ 2018 වසරේ ජූලි මාසයේදීය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 370කින් සමන්විත මෙම ව්‍යාපෘතිය කොටස් 12කට බෙදා මුදල් ඇස්තමේන්තු කර තිබෙන බව ව්‍යාපෘති යෝජනාවේ සඳහන්වේ. රාජාංගනය යාය 18 ප්‍රදේශයේ හා කටුපත්වැව ප්‍රදේශයේ කෝමාරිකා බීජ පැල ව්‍යාපෘතියක් , පනන්කානිය ඇළ හරහා වේල්ලක් ඉදි කිරීම, රාජාංගනය යාය 18හි පර්යේෂණාගාරයක් ඉදි කිරීම, එම ප්‍රදේශයේම කර්මාන්ත ශාලාවක් ඉදි කිරීම, ගෘහස්ථ ක්‍රීඩාංගනයක් ඉදි කිරීම, පර්යේෂණ පාසලක් ඉදි කිරීම හා රාජාංගනය හංදියේ නගර සංවර්ධන කිරීම යන කරුණු ද ඊට ඇතුළත් වේ.

බීජ පැල ව්‍යාපෘතියේ වැඩ සහ ජල සම්පාදන ව්‍යාපෘතියේ වැඩ මේ වන විට ආරම්භ කර තිබේ. ප්‍රශ්නයට තුඩු දී ඇත්තේ එම ව්‍යාපෘති දෙකයි.

ඉඩම් අයිතිය

මෙම ව්‍යාපෘතියට යොදා ගන්නා ඉඩම් රාජාංගනය යාය 18 ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ඉඩම් අතර ඇති වැඩිමනක් ඉඩම් ජනතාව විසින් නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව අත්පත් කර ගත් ඒවාය. ප්‍රදේශීය ලේකම් යටතේ ඇති මෙම ඉඩම්වලින් ඇතැම් ඉඩම්වලට පසුකාලීනව ඉඩම් සංවර්ධන ආඥාපනතේ 19 (2) වගන්තිය යටතේ අවසරපත්‍රයක් නිකුත් කර ඇත. එනම් මේවා ජනතාවට අයිති ඉඩම් නොව ප්‍රාදේශීය ලේකම්ට එසේ නැතිනම් රජයට අයිති ඉඩම්ය. කොන්දේසි සහිත අවසරපත්‍රයක් මගින් ජනතාවට මෙම ඉඩම් තමන්ගේ කටයුතු සඳහා පරිහරණය කිරීමේ අවසරය ලබා දී තිබේ. ඇතැම් ඉඩම්වලට අවසරය ලැබී ඇත්තේ 2010 වසරෙ පසුවය. පවුල් කිහිපයකට පමණක් ප්‍රධාන පත්‍ර ලබා දී ඇති බව ලේඛන අනුව පෙනී යයි.

අවසරපත්‍රයේ ඇති නියමයන්ට අනුව ඉඩම්වල ඇති ඛණිජ ද්‍රව්‍යවල අයිතිය ඇත්තේ රජයට වන අතර ඉඩම් පරිහරණය කරනු ලබන බලපත්‍රලාභීන්ට ඒවා ඉවත් කිරීමට හෝ වෙනයම් ප්‍රයෝජනයක් ගැනීමට අයිතියක් නැත. ඉඩමේ බෙදා වෙන් කළ කොටසක් සඳහා අනුප්‍රාප්තිකයකු නම් කළ නොහැකි අතර ඉඩමේ වගා කරයතු කරගෙන යා යුත්තේ දිසාපතිවරයා සෑහීමකට පත් වන ආකාරයටය. වාසය කිරීම සඳහා නිවසක් සහ පරිහරණයට වැසි‍ෙළියක් හැර දිසාපතිවරයාගේ අවසරකින් තොරව වෙනත් ඉදි කිරීමක් කිරීමට අවසරපත්‍ර ලාභියාට නොහැකිය. අවසරපත්‍ර ලාභියා විසින් ඉඩම පැවරීම නොකළ යුතුය.

අවසර ලබා ගැනීම

පෙර සඳහන් කළ පරිදි කෝමාරිකා වගාවට සහ වැව සහ අමුණ ඉදි කිරීම සඳහා යොදාගෙන ඇති සියලුම ඉඩම් පාහේ රජයේ ඉඩම්ය. එම ඉඩම්වල ඇතැම් කොටස් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ එක්කෝ අවසරපත්‍රයක් මගින් හෝ දීමනා පත්‍රයක් මගින් ගොවිමහතුන්ගේ පරිහරණයට ලබා දී තිබේ.

පෙර සඳහන් කළ පරිදි එලෙස ලබා දුන් ඉඩම්වල යම් සංවර්ධන කටයුත්තක් සිදු කරනවා නම් හෝ ගස් කපා ඉවත් කරනවා නම් හෝ ඒ සඳහා දිසාපතිවරයාගේ හෝ ප්‍රාදේශීය ලේකම්වරයාගේ පූර්ව ලිඛිත අවසරය ලබා ගත යුතුය.

මෙම වගා ව්‍යාපෘතිය තනි ව්‍යාපෘතියක් වුවද ඉඩම් ලබා ගැනීමේදී ගිවිසුම අත්සන් කර ඇත්තේ ගොවි මහතුන් සමග වෙන් වෙන් වශයෙනි. එසේ කළේ නීතියෙන් රිංගා යෑමටද එසේ නැතිනම් ගොවියන්ට ලැබෙන ප්‍රතිලාභ ගැන සිතාදැයි දන්නේ ඔවුන්ම පමණි.

මෙම ව්‍යාපෘතියට අදාලව ගොවි මහතුන් විසින් වෙන් වෙන්ව එකම ආකෘති පත්‍රයකින් රාජංගනය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරමින් ඉඩම සංවර්ධනය කිරීමට අවසර පතා තිබේ. එම ඉල්ලුම්පත්‍ර වැඩිමනක දිනය ලෙස සඳහන් වන්නේ 2019 අගෝස්තු මාසයේ දිනයකි. එයින් ඉල්ලා ඇත්තේ යන්ත්‍රසූත්‍ර යොදා ඉඩම සංවර්ධනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි. යන්ත්‍ර සූත්‍ර යොදා ඉඩම සංවර්ධනය කරන්නේ කුමන කටයුත්තකටද යන්න එම ඉල්ලුම්පත්‍රයේ නැත. කෝමාරිකා වගාවක් ගැන ද එම ඉල්ලුම්පත්‍රවල සඳහන් නොවෙයි.

කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම් විසින් ගොවිමහතුන්ගේ ලිපියට ප්‍රතිචාර යවන ලියුමේ ශීර්ෂය වී ඇත්තේ ‘කෝමාරිකා වගාව සඳහා ඉඩම් සකස් කර ගැනීම’ යන්නයි. ගොවි මහතුන් තමන්ගේ ඉඩම් සංවර්ධනය කරන්නේ කුමන කරුණකටද යන්න ඉල්ලුම් ලිපියේ සඳහන් නොවන පසුබිමට ප්‍රාදේශීය ලේකම්ගේ ලිපියේ ශීර්ෂයට කෝමාරිකා වගාව ගැන සඳහන් වීම ගැටලු සහගතය. කෙසේ වෙතත් ප්‍රාදේශීය ලේකම්වරයා ඉඩම සකස් කර ගැනීමට අවසර ලබා දෙන්නේ කොන්දේසි කිහිපයකට යටත්වය. යන්ත්‍ර සූත්‍ර යොදා ඉඩම සකස් කර ගැනීමට ගොවියන් අවසර ඉල්ලුවද ප්‍රාදේශීය ලේකම් සිය ලිපියේ යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීමට අවසර දෙන බව සඳහන් කර නැත.

ඉඩම සකස් කිරීමේදී පුරාවිද්‍යාත්මක සාධක හමුවුවහොත් ග්‍රාම නිලධාරී මගින් තමා දැනුම්වත් කරන ලෙස දන්වා ඇති ප්‍රාදේශීය ලේකම්වරයා වාණිජමය වටිනාකමක් ඇති ගස් තමාගේ අවසරයක් නැතිව ඉවත් නොකළ යුතු බව ද දන්වා ඇත. එහි තුන් වැනි කොන්දේසි වන්නේ රජයේ කිසිදු නිර්මිතියකට හානි සිදු නොකළ යුතු බවයි. ඊළඟට වැදගත්ම කොන්දේසි පස් වැනි කොන්දේසියයි. එහි සඳහන් කර ඇත්තේ ප්‍රදේශයේ සාමාන්‍ය භූ විෂමතාවය වෙනස් නොකළ යුතු බවයි.

වෙනත් අයතනවල අවසරය

ඉඩම සංවර්ධනය කිරීම සඳහා ගොවිමහතුන් මාර්ගයෙන් වෙන් වෙන්ව ප්‍රාදේශීය ලේකම්ගෙන් අවසර ලබා ගැනීමෙන් පසු කෝමාරිකා වගාව සඳහා රාජාංගනය ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා අවසර ලබා දී ඇත්තේ 2019 සැප්තැම්බර් 24 වැනි දා ය.

‘ඒ අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අනෙකුත් අදාල ආයතනවල අනුමැතීන්ට යටත්ව වගා කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විරෝධතාවක් නොමැති බව මාවෙත දන්වා ඇත. එබැවින් ඉහත සඳහන් උපදෙස් වලට යටත්ව වගා කටයුතු කරගෙන යාම සඳහා අවසර ලබා දෙන බව කාරුණිකව දන්වා සිටිමි.’ මෙම අනුමැතිය සහිත ලිපිය ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කරන්නේ අවුරා ලංකා හර්බල් (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාටය.

ප්‍රාදේශීය ලේකම්වරයා කෝමාරිකා වගාවට අවසර ලබා දෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ ලිපිය මතය. මධ්‍යම පරිසර අධිකාරියේ උතුරුමැද පළාත් අධ්‍යක්ෂ එස් එම් එස් සමරකෝන් මහතා මේ කියන ලිපිය අත්සන් කර ඇත්තේ 2019 සැප්තැම්බර් 24 වැනි දාය. හාස්‍යයට කරුණ නම් මෙම ලිපිය පාදක කර ගනිම් ප්‍රාදේශීය ලේකම්වරයා ඉහත සඳහන් අවසරය ලබා දී ඇත්තේ ද 2019 සැප්තැම්බර් 24 වැනිදා වීමය. එනම් එකම දිනයකය. පරිසර අධිකාරියේ ලිපිය නිකුත් කිරීමට පෙර ඒ සඳහා ගාස්තුවක් ගෙවිය යුතුය. රුපියල් 2000ක එම ගාස්තුව ගෙවන ලෙස පරිසර අධිකාරිය දැනුම් දී ඇත්තේ 2019 ඔක්තෝබර දෙවැනිදා වන අතර ගාස්තුව ගෙවූ බව දැක්වෙන රිසිට් පතේ මුද්‍රාව සටහන් වී ඇත්තේ ද ඔක්තෝබර් දෙවැනිදාය ලෙසයි. මධ්‍යම පරිසර අධිකාරිය සැප්තැම්බර් 24 වැනි දා අත්සන් කළ ලිපිය නිකුත් කළ යුතු වන්නේ අදාල මුදල ගෙවූ පසුවය. එනම් ඔක්තෝබර දෙවැනිදායින් පසුවය. ඔක්තෝබර් දෙවෙනිදායින් පසුව නිකුත් කළ යුතු ලිපියක් මත පදනම්ව සිය තීරණය ප්‍රාදේශීය ලේකම්වරයා ලබා දී ඇත්තේ සැප්තැම්බර් 24 වැනි දා ය. (ලිපි ගනු දෙනු ගැන තවත් විස්තර ඇතත් ඒවා මෙම ලිපියෙන් ඉදිරිපත් නොකරන්නේ මෙම ලිපියේ මූලික අවධානය පාරිසරික කරුණුවලට යොමු වන බැවිනි.)

අත්‍යවශ්‍යම අවසරය

කෝමාරිකා වගාව සඳහා විවිධ ආයතනවලින් අවසරය අරගෙන තිබුණ ද අත්‍යවශ්‍යම ආයතනය වන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසරය ලබාගෙන නොතිබුණි. මේ සඳහා ඔහුගෙන් අවසරය ලබා ගත යුත්තේ විල්පත්තු ජාතික උද්‍යානයේ ප්‍රේරණ කලාපයට මෙම ඉඩම් අයිති වීම නිසාය. මීට පෙර සඳහන් කළ පරිදි වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ නම් කරනු ලැබූ ආරක්ෂිත ප්‍රදේශයක යම් සංවර්ධනයක් සිදු කරන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව අවසරය ලබාගෙන තිබිය යුතුය.

කෝමාරිකා වගාවේ ගැටලුවක් නැතැයි කියන උදවියගේ ප්‍රධානතම තර්කයක් වන්නේ කෝමාරිකා වගා කරන ප්‍රදේශය සහ වැව සකස් කරන ප්‍රදේශය ඉහත කී ප්‍රේරණ කලාපයට අයත් නොවන බවයි. කෙසේ වෙතත් වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘතිය සිදු වන්නේ සහ දැනට යන්ත්‍ර සූත්‍ර යොදා බිම් සකස් කරන්නේ විල්පත්තු ජාතික උද්‍යානයේ ප්‍රේරණ කලාපයේ බවයි. ඒ අනුව මෙම ව්‍යාපෘතියට එරෙහිව වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුව පසුගිය සතියේ නොච්චියාගම සංචාරක මහේස්ත්‍රාත් උසාවියේ නඩුවක්ද පැවරීය.

මෙම ඉඩම් පිහිටා ඇත්තේ ප්‍රේරණ කලාපයේ ද ඉන් පිටතද යන්න තහවුරු කර ගැනීම සඳහා එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ වැව සකස් කරන ස්ථානයේ, කෝමාරිකා වගාව කරන ස්ථානයේ සහ ඒ ආශ්‍රිතව ස්ථාන අටක පමණ පිහිටීම ජීපීඑස් තාක්ෂණය ඔස්සේ ලබාගෙන ඒ එක් එක් ස්ථානයේ සිට විල්ප්තතු මායිමට ඇති දුර මැන බැලුවෙමු. ඒ අනුව පෙනී ගියේ අප ලකුණු කළ ස්ථාන (වැව සකස් කරන ස්ථානය සහ කෝමාරිකා වගා කරන ස්ථානය) පිහිටා ඇත්තේ විල්පත්තු මායිමේ සිට සැතපුමක් දුරට ඇති සීමාවේ බවයි. ජීපීඑස් ස්ථාන පහක් ලකුණු කළ රූපසටහනක් මේ සමඟ පළ කරන අතර විල්පත්තු මායිමට ඇති දුර ද එහි සඳහන් කර තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය දැනට ආරම්භ කර ඇත්තේ විල්පත්තු ප්‍රේරණ කළාපයේය.

මෙම ඉඩම් පිහිටියේ ප්‍රේරණ කලාපයේ බව එම ප්‍රදේශයේ කළ සංචාරයේදි ගොවීහු කිහිප දෙනෙක්ම පිළිගත්හ.

ඒ අනුව බලන කළ ආයතන සියල්ලන්ගෙන්ම අවසරය ගත්තද අවසරය ලබා ගත යුතුම ආයතනයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා අවසරය ලබාගෙන නැත. එනම් වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ ‘09 අ’ වගන්තිය උල්ලංඝණය කර තිබේ. ඒ අනුව මෙම ක්‍රියාදාමය නීති විරෝධී ක්‍රියාවලියකි. ප්‍රදේශය පාරිසරික අතින් කෙතරම් වැදගත්දැයි කියතොත් වැව සකස් කරන ස්ථානයට අඩි කිහිපයක් නුදුරින් පිහිටි ගස් කිහිපයක් නිරීක්ෂණය කළ අපට කුරුල්ලන් වර්ග 11ක් දක ගත හැකි විය.

ප්‍රාදේශීය ලේකම්ගේ අවසර කැඩීම

පෙර සඳහන් කළ පරිදි ඉඩම සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ගොවීන්ගේ නම්වලට ලබා දෙනු ලැබූ අවසරයෙහි කොන්දේසි පහක් අන්තර්ගත විය. එහි තුන් වැනි කොන්දේසිය වූයේ රජයේ කිසිදු නිර්මිතයකට හානි නොකළ යුතුය යන්නයි. වසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය කිරීම මගින් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරපත්‍රයෙහි තුන් වැනි කොන්දේසි කඩ කර තිබේ.

ප්‍රාදේශීය ලේකම්ගේ පස් වැනි කොන්දේසිය වූයේ ප්‍රාදේශයේ සාමාන්‍ය භූ විෂමතාවය වෙනස් නොකළ යුතු බවයි. කෙසේ වෙතත් බැකෝ යන්ත්‍ර ආදිය යොදාගෙන ඇතැම් ඉඩම් සමතලා කිරීම මගින් සහ ඇතැම් ඉඩම්වල වැව හැරීමෙන් සහ පස් මත පිහිටි කළු ගල් ඉවත් කිරීමෙන් භූ විෂමතාවය වෙනස් කර තිබෙන අයුරු දැක ගත හැකි විය. එනම් ප්‍රාදේශීය ලේකම්ගේ පස් වැනි කොන්දේසිය ද කඩ කර තිබේ.

මේ අනුව අවශ්‍ය නම් ගොවීන්ට ඉඩම් පරිහරණය කිරීම සඳහා ලබා දී ඇති අවසර පත්‍රය අහෝසි කිරීමට ද, ප්‍රධාන පත්‍ර දී ඇති පවුල්වල ප්‍රධාන පත්‍ර අහෝසි කර ඉඩම් යළි ලබා ගැනීමට ද ප්‍රාදේශීය ලේකම්ට හැකියාව ඇත. මෙය බරපතල තත්ත්වයකි.

සමාගම හා ගොවියා අතර ගිවිසුම

සමාගම කෝමාරිකා වගාව සිදු කරන්නේ ගොවියන් සමඟ ඇති කර ගන්නා ලද ගිවිසුමක් අනුවය. එම ගිවිසුම සකස් කර ඇත්තේ වසර 10ක කාලයක් සඳහාය. 2019 සැප්තැම්බර් මාසයේ දී අනුරාධපුරදී ගොවියන් මෙම ගිවිසුමට අත්සන් කර තිබේ. එම ගිවිසුම අනුව තමන් භුක්ති විඳින ඉඩම් කෝමාරිකා වගාවක් සිදු කර එහි සම්පූර්ණ වගාව සමාගමට ලබා දීමට ගොවීන් එකඟ වී තිබේ. මෙම භූමිය පිළිබඳ යම් ආරවුලක් ඇතිවුවහොත් එය තම වියදමින් නිරවුල් කර ගැනීමට සහ ඉඩමේ වගාව සඳහා සම්පූර්ණ වගකීම තමන් දරණා බවට ගොව්යන් ගිවිසුමෙන් එකඟ වී තිබේ.

කෝමාරිකා වගාව සඳහා අවශ්‍ය මූල්‍ය කටයුතු සම්පාදනය කරනු ලබන්නේ සමාගම විසිනි. අදාල ඉඩමේ බිම වගා කටයුතු සඳහා සුදුසු ආකාරයට යන්ත්‍ර සූත්‍ර යොදා සකස් කර දීමේ වගකීම ගිවිසුම අනුව යන්නේ සමාගමටය. සමාගම විසින් ලබා දෙනු ලබන කෝමාරිකා පැල වගා කිරීම, පොහොර යෙදීම, රැකබලා ගැනීම සිදු කළ යුතු වන්නේ ගොවියන් විසිනි. සමාගමේ අවසරයකින් තොරව එම වගා භූමිය පරීක්ෂා කිරීමට වෙනත් පුද්ගලයකුට හෝ පාර්ශ්වයකට ඉඩ ලබා දීමට ගොවීන්ට නොහැකිය.

කෝමාරිකා වගාවේ අස්වනු සමාගම විසින් මිලදී ගනු ලබන අතර කෝමාරිකා වගාවට සහ ඉඩම් සකස් කිරීමට වැය වූ මුදල ගෝවීන්ගෙන් ලබා ගැනීමට සමාගමට බලය තිබේ. වගා කාලය තුල අදාල භෝගය සමාගමේ දේපොළක් සේ සැලකීමට ගොවීන් ගිවිසුම් ගත වී ඇත. ගිවිසුම අත්න් කරන දින වන විට ගෝවීන් කිසියම් සමිතියක් හෝ වෙනත් පුද්ගලයකු සමඟ ගිවිසුම් ගත වී ඇත්නම් මෙම ගිවිසුම අත්සන් කර මාසයක් ඇතුළත එම ගිවිසුම් අගෝසි කර ගැනීමට ගොවීන් මෙම ගිවිසුමෙන් එකඟ වී තිබේ.

මෙම ගිවිසුම අනුව ඉඩම් සංවර්ධනය කිරීමෙහිලා යම් ආරවුලක් ඇතිවුවහොත් එහි වගකීම යන්නේ සමාගමට නොව ගොවියන්ටය. ඒ අනුව අමාරුවේ වැටෙන්ගේ ගොවියන්ය. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝණය කිරීම පිළිබඳ ලොකුම වගකීම යන්නේ ගිවිසුම අනුව ගොවීන්ටය. ඒ මන්ද යත් ඉඩම් පිළිබඳ ආරවුලක් ඇතිවුවහොත් තම විදයමින් එය විසඳා ගැනීමට ගොවියන් එකඟ වී ඇති බැවිනි.

ව්‍යාපෘතියට අදාල තවත් තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරාත්තු වන්න.

මේ සම්බන්ධයෙන් සමාගම පැත්තෙන් විමසීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ විරංජිත් තාඹුගල මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීමට තාඹුගල මහතාගේ ෆේස්බුක් ගිනුමට ද පණිවිඩයක් යොමු කළ අතර සමාගමේ ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක්ද යොමු කළෙමු. ලිපිය ලියා අවසන් කරන මොහොත වන තෙක් ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here