දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ පොලිස්පති පුටුවට ? – පාස්කු චූදිතයෝ කැළඹෙති !

0
34

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්නට ලබන මාර්තු 26දා වන විට සේවා දිගුවක් නොලැබුණහොත්, පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතා ලේඛනයට පිටින් පිටස්තර අයෙකු නව පොලිස්පතිවරයා ලෙස පත්කිරීම වඩාත් සුදුසු බවට වන යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් වී ඇත.

පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති නිසා, දැනට පොලිස් සේවයේ සිටින අයෙකුට එය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව මෙම යෝජනාව ඉදිරිපත් කළ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත. කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බොහෝ විට වර්තමාන පොලිස්පතිවරයාට වසරක සේවා දිගුවක් හිමි වනු ඇති බවයි. වයස අවුරුදු 60 පිරීම නිසා ඔහු ලබන මාර්තු 26දා විශ්‍රාම යෑමට නියමිත ය.

දිල්රුක්ෂිට සිද්ධ වුණේ කුමක්ද ?

අදාළ යෝජනාවට අනුව නව පොලිස්පති ධුරයට පත්කිරීම සඳහා යෝජනා වී ඇත්තේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ය. ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද කටයුතු කළ අතර, කුප්‍රකට ඇවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති සමග සිදු කළ දුරකථන සංවාදයක් යනුවෙන් ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා නිසා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් ඇයගේ වැඩ තහනම් කෙරිණි. එහෙත් ඉන්පසු එය ව්‍යාජ ලෙස සකස් කළ හඬපටයක් බව පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයේදී තහවුරු විය.

වහාම ඇය නැවත සේවයේ පිහිටුවන ලෙස 2021 ජූලි 22දා අදාළ පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයෙන් නියෝග කෙරිණි. මාස 18ක් තිස්සේ වැඩ තහනමට ලක්ව සිටි ඇය, තීන්දුවෙන් දින 8කට පසු, එනම් ජූලි 30දා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබීය. ජනාධිපතිවරයා වෙත අදාළ යෝජනාව කළ පිරිස සඳහන් කර ඇත්තේ දිල්රුක්ෂි වික්‍රමසිංහ වැනි චරිතයක් පොලිස්පති ධුරයට පත්කළහොත්, ජනතාව තුළ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වන අප්‍රසාදය තරමක් දුරට හෝ සමනය කළ හැකි වනු ඇති බවයි.

පිටින් පත්කළ හැකිද ?

මෙසේ පොලිස් දෙපාර්තමේන්තුවෙන් බාහිර පුද්ගලයෙකු පොලිස්පති ධුරයට පත්කළ හැකිද යනුවෙන් අප කළ සොයාබැලීමේදී අනාවරණය වූයේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ එවැනි උදාහරණ කිහිපයක් ඇති බවයි. 1959 මැයි 01දා එවකට අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක විසින් සිවිල් සේවයේ කටයුතු කළ එම්.එෆ්. අබේකෝන් පොලිස් දෙපාර්තමේන්තුවේ නොවන අයෙකු ලෙස පොලිස්පති ධුරයට පත්කර තිබේ. ඔහු 1963 වසර දක්වා පොලිස්පති ධුරයේ රාජකාරි කර ඇත.

පොලිස්පති ධුරයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සිවිල් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස කටයුතු කළ රිචඩ් අලුවිහාරේ ය. 1947 ජුනි 01 දින සිට ඔහු මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කර ඇත. එසේ ම පොලිස් දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සැලකෙන පරිපාලනය බාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට ද මෙසේ පිටස්තර පුද්ගලයන් පත්කර ඇති බවයි. ඊට උදාහරණයක් ලෙස එම තනතුරට පත්කෙරුණු ඩි.බී.අයි.එස්. සිරිවර්ධන පෙන්වා දිය හැකි බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨත්වය ?

මේ අතර වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න අවුරුදු 60 සම්පූර්ණ වීම නිසා ලබන 26දා විශ්‍රාම ලැබුවහොත්, මීළඟ පොලිස්පති ධුරයට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින නිලධාරීන් තිදෙනාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වැරදිකරුවන් හෝ චෝදනා ලැබූ තැනැත්තන් හෝ වීම විශේෂත්වයකි.

මීළඟ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වරදකරු කළ අයෙකි. ඊළඟට ලැයිස්තුවේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායකට සහ දේශබන්දු තෙන්නකෝන්ට ද ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව මගින් අවස්ථා 2කදී ඔවුන් මීට වගකිවයුත්තන් බව සඳහන් කර, විමර්ශන පැවැත්විය යුතු බවට නිර්දේශ කර ඇති අතර, පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් ඔවුන්ට එරෙහිව චෝදනා පත්‍ර ද සකස් කොට බාරදෙන ලදි.

ලිස්ට් එක ?

මෙම නිලධාරීන් තිදෙනාගෙන් පසු ජ්‍යෙෂ්ඨ ලැයිස්තුවේ සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ය. ඔහුට එරෙහිව මෙතෙක් බරපතළ අපරාධ චෝදනා එල්ල වී නැති බව පොලිස් මූලස්ථාන වාර්තා සඳහන් කරයි. මෙම නිලධාරීන්ගෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු,එම්.ඩී.ආර්.එස්. දමින්ද, අජිත් රෝහණ, කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න පිළිවෙළින් පොලිස් පාර්තමේන්තු ජ්‍යෙෂ්ඨතා ලේඛනයේ සිටිති.

වගකීම කාටද ?

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස චන්දන වික්‍රමරත්න පත්වීම් ලැබුවේ 2020 නොවැම්බර් 27 දින ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම පත්කිරීම සිදුකරන ලදි. ඊට හේතු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ ව්‍යවස්ථාදායක සභාව 20 වැනි සංශෝධනය මගින් අහෝසි කිරීමයි. එහෙත් යළිත් 21 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති නිසා නව පොලිස්පතිවරයා තේරීමේ වගකීම පැවරෙන්නේ ව්‍යවස්ථාදායක සභාවටයි. ඒඅම සභාව මගින් නිර්දේශ කරන පුද්ගලයා පත්කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

සේවා දිගුවක් ?

කෙසේ වෙතත් නීති විශාරදයන් සඳහන් කරන්නේ නීතිපතිවරයාගේ සහ පොලිස්පතිවරයාගේ විශ්‍රාම වයස පිළිබඳ 21 වැනි සංශෝධනයේ පැහැදිලිව සඳහන් නොවන බවයි. මේ නිසා චන්දන වික්‍රමරත්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත සේවා දිගුවක් ලබාගැනීමේ හැකියාව ද පවතින බව ඔවුහු පෙන්වා දෙති. ඔහු සේවා දිගුවක් ලබාගැනීම සඳහා දැඩි වෙහෙසක් ගනිමින් සිටින බව ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.

වර්තමාන පොලිස්පතිවරයා විසින් අනීතික ලෙස ජනතවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වන ලෙස පනවන ලද පොලිස් ඇඳිරි නීතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 2ක් සහ තවත් චෝදනා රැසක් ද ඔහුට මේ වන විට එල්ල වී තිබේ. ඔහුට මාර්තු 26දා ධුරයෙන් විශ්‍රාම යෑමට සිදුවුවහොත්, මෙම සියලු චෝදනාවලට සාමාන්‍ය – සිවිල් පුරවැසියෙකු ලෙස තනි ව මුහුණ දීමට සිදු වේ. එවිට නීතිඥ පහසුකම් ලබාගැනීම ඇතුළු සේවා ද ඔහු විසින් සපයාගත යුතුය.

Source TheTime

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here