රුසියානු ආයෝජක පිරිසක් දිවයිනට

0
163

මෙරට ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉහළ පෙලේ රුසියානු ආයෝජක පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙති.

ඉන්දියාවේ රුසියානු සම්මේලනයේ වෙළෙඳ කොමසාරිස් ආචාර්ය ඇලෙක්සාන්දර් රයිබාස් ප්‍රමුඛ ඉහළ පෙළේ දූත පිරිස මාර්තු 04 වැනි දා කොළඹ කර්මාන්ත අමාත්‍යාංශයේ දී අමාත්‍යාංශ ලේකම්වරිය වන තිලකා ජයසුන්දර හමු වූ හ.

සැපයුම්, නැව් නිෂ්පාදන, වරාය යටිතල පහසුකම් සංවර්ධන, තොරතුරු තාක්ෂණය, බැංකු හා මුල්‍ය, විශේෂ ආර්ථික කලාප ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදාල පිරිස පැමිණ තිබේ.

ඔවුන් පිළිගත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ මග පෙන්වීම යටතේ අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ගමන් කරන ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳ දූත පිරිස දැනුවත් කළා ය.

මෙහිදී අදහස් දැක්වූ දූත  පිරිසේ ප්‍රධානී ආචාර්ය අලෙක්සාන්දර් රයිබාස්, රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වීය සබඳතා උසස් මට්ටමක පවතින බැවින් රුසියාව ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ රැසක් ආනයනය කරන බවත්, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතා දියුණු වෙමින් පවතින බව නිරීක්ෂණය වී ඇති බවත්, මෙවැනි තත්ත්වයක ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳ රුසියානු ව්‍යාපාරික ප්‍රජාව දැඩි උනන්දුවක් දක්වන බවත් ප්‍රකාශ කළේ ය..

ලොව උසස් ම තත්ත්වයේ ඛනිජ වැලි ලංකාවේ ඇති බවත් ආයෝජන අවස්ථා රැසක් එහි ඇති බවත් ලේකම්වරිය පෙන්වා. දුන්නා ය. ග්‍රැෆයිට්, රොබොටික්, බෝට්ටු හා නැව් නිෂ්පාදනය, රබර් හා ප්ලාස්ටික්, මැණික් හා ස්වර්ණාභරණ, කුළුබඩු , ආහාර පාන යන කර්මාන්ත ක්ෂේත්‍රවල ද නව ආයෝජන අවස්ථා පවතින බව පැවසූ ඇය ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් සැලසුම් කර ඇති විද්‍යුත් බස් රථ නිෂ්පාදනය පිළිබඳ ද රුසියානු ආයෝජක පිරිස දැනුවත් කළා ය.

එසේම කර්මාන්ත අමාත්‍යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක් ව ජුනි 19 වැනි දා සිට 23 වැනි දා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත “International Industry Expo 2024 Sri Lanka” අන්තර්ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා සහභාගි වන ලෙස ද ලේකම්වරිය රුසියානු කර්මාන්තකරුවන්ට හා ආයෝජකයන්ට ආරාධනා කළා ය.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ගැලීනා කුක්ලිනා,  රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධානී අනස්තාසියා ග්‍රිනේවා, රුසියාවේ ආර්ථික දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශේෂඥ ස්ලාටා අන්තුෂෙවා, රුසියාවේ රොස්ටෙක් රාජ්‍ය සංස්ථාවේ අංශ ප්‍රධානී දිමිත්‍රි මැකරොව්, ටටර්ස්ථාන් ජනරජයේ නියෝජ්‍ය අගමැති උපදේශක සර්ගේ මයොරොව් ඇතුළු ආයෝජකයින් පිරිසක් රුසියානු දූත පිරිස නියෝජනය කළ අතර කර්මාන්ත අමාත්‍යාශයේ අතිරේක ලේකම් චමින්ද පතිරාජ ඇතුළු අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජෙනරාල් (සැලසුම්) අරුණ බණ්ඩාර, ප්‍රධාන මුල්‍ය නිලධාරී, කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම, කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සභාපති තුසිත මැලව්වේතන්ත්‍රි, ලංකා අශෝක් ලේලන්ඩ් හා මිනරල් සෑන්ඩ් සමාගම්වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රබර් හා ප්ලාස්ටික් ආංශික උපදේශන කමිටුවේ සභාපති කෞෂාල් රාජපක්ෂ, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූ හ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here