ඔබටත් 50 ට වැඩිනම්..

0
151

වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයින් අනිවාර්යයෙන් සිය අක්ෂි පරීක්ෂාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කරයි.

සිය ඥාතියෙකුට, පවුලේ සාමාජිකයෙකුට ග්ලෝකෝමා වැළඳී ඇත්නම් ඔවුන් ද සිය අක්ෂි පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කළේ ය.

ඒ,  මාර්තු 05 වැනි දා පෙරවරුවේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ග්ලෝකෝමා රෝගය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

2024 වර්ෂයේ, ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 10 සිට 16 දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික අක්ෂි රෝහල කටයුතු යොදා ඇති අතර, මෙවර එහි තේමාව “ග්ලෝකෝමා වලින් තොර ලෝකයක් සඳහා එක් වෙමු” යන්නයි.

මේ වෙනුවෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් මෙන්ම දිවයින පුරා අක්ෂි සායනවල රෝගීන් දැනුවත් කිරීමේ වැඩසටහන්, වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන්, දිවයින පුරා රෝහල්වල ග්ලෝකෝමා විශේෂ අක්ෂි සායන ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහි පළමු අදියර ලෙස ගාල්ල, පුත්තලම, බදුල්ල, මහනුවර හා යාපනය දිස්ත්‍රික් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.

මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, “ග්ලුකෝමාව කලින් හඳුනාගතහොත් අන්ධභාවයට පත්වීම වළක්වා ගත හැකි බවත්, ගෝලිය හා මෙරට වශයෙන් ගත්විට  අන්ධභාවයට පත්වීමට තුඩු දෙන එක් ප්‍රධාන හේතුවක් ලෙස ග්ලෝකෝමා රෝගය හඳුන්වා දිය හැකි බවත් ය.

ග්ලෝකෝමා ලෝක දත්ත විශ්ලේෂණය කර බලන විට ගෝලීය තත්ත්වය 3.54% ක් වන බවත් ලංකාවේ එම තත්ත්වය 5% කට ආසන්න බවත් පෙන්වා දුන් ලේකම්වරයා මෙරට වැඩිහිටි ජනගහණය වැඩිවීම ඊට එක් හේතුවක් බව පෙන්වා දේ.

මෙම මාධ්‍ය සාකච්ජාවට  සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ආර්.එම්.තවුෆීක්, නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය මොනිකා විජේරත්න,  ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමිල ද අල්විස්,  ග්ලෝකෝමා අනුකමිටු‌වේ සාමාජික විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂි ආරියසිංහ, VISION 2030 වැඩසටහන නියෝජනය කරමින්  විශේෂඥ වෛද්‍ය ලලිතා සේනාරත්න, ජ්‍යෙෂ්ඨ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ සමඟ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන්, ජනමාධ්‍යවේදීන් පිරිසක් ද සහභාගී වූූ හ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here