නාවුක ගමන් මග ජනපතිට

0
199

 ශ්‍රී  ලංකා නාවුක හමුදාව මඟින් සම්පාදිත “Proposal for Sri Lanka Navy’s Strategy 2030 & Beyond”, ශ්‍රී   ලංකා නාවුක හමුදාවේ ඉදිරි ගමන් මග පිළිබඳ යෝජිත උපායමාර්ගික සැලැස්ම, ජනාධිපති, සන්නද්ධ හමුදා සේනාධිනායක රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වේ.

2024 මාර්තු මස 01 වැනි දා ත්‍රිකුණාමලය, නාවුක තටාකාංගණස්ථ නාවුක මැදුරේ දී එය සිදු කෙරිණි.

ශ්‍රී ලංකාව 2048 වර්ෂය වනවිට පූර්ණ සංවර්ධිත රටක් බවට පත්කිරීමේ ජනාධිපතිවරයාගේ දැක්මට අනුව, ආරක්ෂිත සහ සමෘද්ධිමත් සමුද්‍රීය අනාගතයක් කරා පැහැදිලි දැක්මකින් සහ පුළුල් උපාය මාර්ග සැලැස්මකින් මෙහෙයවනු ලබන පරිවර්තනීය ගමනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සූදානම සහ ඊට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ඉදිරි ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳ 2030 දක්වා වූ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීම පිණිස නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්ගේ සභාපතීත්වයෙන් යුත් සම්පාදක මණ්ඩලයක් පත් කරන ලදී.

එමගින් වර්තමාන උපායමාර්ගික පරිසරය සහ දේශීය හා ගෝලීය යථාර්ථය හමුවේ ජාතික සමුද්‍රීය අභිප්‍රායයන් ළඟා කරගැනීම පිළිබඳ පුළුල් ලෙස විශ්ලේෂණය කරමින්,  ශ්‍රී ලංකා නාවුක හමුදාවේ සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉදිරි උපායමාර්ගික ගමන් මඟ සකස් විය යුතු ආකාරය පිළිබඳ විද්‍යානුකූල පදනමකින් කරුණු ඉදිරිපත් කරමින්, මෙම යෝජිත උපාය මාර්ගික සැලැස්ම සම්පාදනය කරන ලදී.

ඒ අනුව, එම සම්පාදක මණ්ඩලයේ සභාපති, නාවුක හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරීස් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමක් මඟින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව, එම යෝජිත සැලැස්ම ඔහු වෙත පිළිගැන්වීම නාවුක හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සිදු කළේ ය..

එම අවස්ථාවට ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය පිරිසක් ද, නාවුක හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවුක විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් ව සිටිය හ.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here