එජාපය – ආණ්ඩුවට දෙන සහාය ගැන වික්‍රමබාහුගේ ප්‍රසාදය

0
38

‘ප්‍රතිගාමී’ රජයක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොරෝනා වසංගත අනතුරට මුහුණ දීම සදහා ගෙන යන වැඩ පිලිවෙලට සහාය දීමට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම වාමාංශික නායකයකු සිය ප්‍රසාදය පළ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය අත් අකුරින් ලිය යවා තිබෙන ලිපියක සදහන්ව ඇත්තේ ප්‍රතිගාමී රජය විසින් සුළු ජාතීන්ට අහිතකර යම් පියවරයන් ගෙන ඇති බවයි.

එවැනි තත්වයක් තුළ රජයේ ක්‍රියාමාර්ග වලට සහාය දීම සුළු ජාතීන්ට ඇති වී තිබෙන බිය දුරු කිරීමට මග පාදනු ඇති බවට සම සමාජ පක්ෂ නායකයා විශ්වාසය පළකර තිබේ.

“කොරෝනා වයිරස් අන්තරාය පරාජය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට සහාය දීමට ඔබ විසින් පියවර ගෙන තිබීම ගැන අපි සතුටු වෙමු.”

යනුවෙන් එම ලිපියේ සඳහන්ය.

“කෙසේවෙතත්, සුලුතරයන් අතර කනස්සල්ල ඇති කිරීමට හේතුපාදක වන ඇතැම් පියවර වර්තමාන ප්‍රතිගාමී ආණ්ඩුව විසින් ගෙන තිබේ. ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්මේ අප දරන දායකත්වය මගින් සුළුතර ප්‍රජාවන්ගේ බිය තුරන් කිරීමට කටයුතු කළ යුතුය.”

ප්‍රතිගාමී රජය විසින් සුළු ජාතීන්ට බිය එලවා ඇත්තේ හෝ එය දුරු කරන්නේ හෝ කෙසේද යන්න එම කෙටි ලිපියේ දක්වා නැතත්, දෙමළ සමූහඝාතක සෙබළකු කොරෝනා ඇඳිරිය මැද හිරෙන් නිදහස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කිරීම මීට ඉහතදී මහාචාර්ය වික්‍රමබාහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබුණි.

ආණ්ඩුව කොරෝනාවට මුහුණ දීම සඳහා ගෙනයන වැඩ පිළිවෙල එජාපය ඇතුළු සියලු පක්ෂ වල ඇගයීමට පාත්‍රවූ බව අප්‍රේල් 2 දා පැවති සර්ව පාක්ෂික සාකච්ඡා හමාරයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් නිවේදනය කර තිබුණි.

ජාතිවාදයට, ආගම්වාදයට, යුදවාදයට එරෙහිව දශක ගණනාවක් විථි සටන් කරුවෙකු ලෙස සටන් වැදීම නිසා ජාත්‍යන්තර වශයෙන් මෙන්ම දේශිය වශයෙන්ද ප්‍රගතිශිලී ජනතාවගේ මහත් ගෞරවයට ප්‍රාතව සිටින නව සම සමාජ නායකයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතය.

එය වර්තමාන රජය විසින් ගෙනයන ෆැසිස්ට් වාදයට විරුද්ධව ගන්නා ලද පියවරක් බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here