ඇමරිකාව යුද්ධය වෙනුවට සාමය තෝරා ගනියි

0
35

ඉරානය විසින් ඉරාකයේ පිහිටි තම හමුදා කඳවුරු වලට ප්‍රහාර එල්ල කළද කිසිදු ඇමරිකානුවකුට හානියක් නොවූ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සඳහන් කරනවා.

ඉරාන ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ තම රටේ සියලු දෙනා ආරක්ෂිත බවයි.

ඇමරිකානු ප්‍රහාරයකින් මියගිය ඉරාන විප්ලවවාදී කුඩ්ස් බලකා ප්‍රධානී කසේම් සුලෙයිමානී, ලොව ප්‍රබලම ත්‍රස්තවාදියෙකු බවත් ඔහු සිවිල් වැසියන් ඉලක්ක කර විශාල ජන සංහාරයක් සිදු කළ බවත් ට‍්‍රම්ප් කියා සිටියා.

ඉරාන න්‍යෂ්ඨික ගනුදෙනුව දැඩිව විවේචනය කළ අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ, ලෝකය සුරක්ෂිත සහ සාමකාමී ස්ථානයක් බවට පත් කිරීමට නම්, ඉරානය සමඟ ගනුදෙනුවක් කිරීමට සැවොම එක්විය යුතු බවයි.

ඉදිරි කාලයේදී ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට පැවසූ ඇමරිකා ජනාධිපතිවරයා ඇමරිකාවට මැදපෙරදිග ඉන්ධන අවශ්‍ය නැතැයිද පැවසුවා.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මත මැදපෙරදිග යුද්ධයක් ඇතිවීමේ සම්භාවිතාව යම් පමණකට සමනය වීමක් පෙන්නුම් කරන බවයි.

ඉරානය සමග ප්‍රබල රුසියාව හා සිරියාව එක්වීම මත ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම තත්ත්වයට පෙළඹෙන්නට ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here